Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගුවන් හමුදාව පිට පිටම තෙවැනි ජය ලබයි
අන්තර් සමාජ රග්බි ලීගය

ගුවන් හමුදාව පිට පිටම තෙවැනි ජය ලබයි

editorial - 2025 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ (2025-26) පස්වැනි සතියේ තරගයක් ලෙස ගුවන් හමුදාව සහ නාවික හමුදාව අතර ඊයේ (13 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 28-14 ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය. ගුවන් හමුදාව මෙවර තරගාවලියේදී පිට පිටම ලැබූ තෙවැනි ජයග්‍රහණය මෙය විය. 

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට දෙපිලම ලකුණු 18-00 ක් ලෙස පෙරමුණ ගැනීමට ගුවන් හමුදාව සමත් විය. එහිදී නාවික හමුදා ක්‍රීඩකයන්ට එකදු ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාවක් නොදුන් ගුවන් හමුදා ක්‍රීඩකයෝ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු ලබාගත්හ. 

දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු 10 ක් රැස්කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයන් සමත් වෙද්දී, නාවික හමුදා ක්‍රීඩකයෝ ගෝල දිනුම් 2 ක් මගින් ලකුණු 14 ක් රැස්කිරීමට සමත් වූහ. එහෙත් පළමු අර්ධය අවසානයේ කණ්ඩායම් දෙක අතර පැවැති ලකුණු පරතරය බිඳ දැමීමට තරම් නාවික හමුදාව දෙවැනි අර්ධයේදී ගත් උත්සාහය ප්‍රමණවත් නොවීය. 

තරගයේ 22 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ගුවන් හමුදාව වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළ නායක ගයන්ත ඉද්දමල්ගොඩ, ඉන් නොනැවතී 28 වැනි විනාඩියේදී මලීෂ වීරකෝන් ලබාගත් උත්සාක දිනුමේ ප්‍රවර්ථනයද සාර්ථක කරගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 10 ක් දක්වා ඔසවා තැබුවේය.  

ශාමික කෞෂාන් 36 වැනි විනාඩියේදී වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට අපොහොසත් වුවද, 39 වැනි විනාඩියේදී සිය කණ්ඩායමට හිමිවූ තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත් ඉද්දමල්ගොඩ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 18-00 ක් ලෙස ගුවන් හමුදාව තරගයේ ඉදිරියට ගෙන ආවේය. 

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව චිරන්ත කළුආරච්චි ලබාගත් උත්සාහක දිනුමත්, තිළිණ වීරසිංහ සාර්ථක කරගත් ප්‍රවර්ථනයත් සමග නාවික හමුදාව ලකුණු 18-07 ක් ලෙස තරගයට අවතීර්ණ විය. එහෙත් 64 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් ඉද්දමල්ගොඩ ලකුණු 21-07 ක් ලෙස දෙපිල අතර පැවැති පරතරය තවත් ඉහළ දැමුවේය. 

තරගයේ 68 වැනි විනාඩියේදී නාවික හමුදාවේ ඉසුරු පෙරේරා ලබාගත් උත්සාහක දිනුම සහ තිළිණ වීරසිංහ සාර්ථක කරගත් ප්‍රවර්ථනයත්, 76 වැනි විනාඩියේදී ගුවන් හමුදාවේ ශෂික ප්‍රනන්දු ලබාගත් උත්සාහක දිනුම සහ ඉද්දමල්ගොඩ සාර්ථක කරගත් ප්‍රවර්ථනයත් සමග දෙපිලටම ලකුණු 7 බැගින් එක්විය. ඒ අනුව නියමිත කාලය අවසානයේ ගුවන් හමුදාවට ලකුණු 28-14 ක පහසු ජයක් හිමිවිය. 

 


අදහස් (0)

ගුවන් හමුදාව පිට පිටම තෙවැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.