Last Update  :  2025-09-20 13:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ආසියාවේ අභිමානය සොයා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග බිමට

ආසියාවේ අභිමානය සොයා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග බිමට

editorial - 2025 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

චීනයේ හැංෂූ නුවරදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම, ආසියාවේ අභිමානය සොයා මූලික වටය යටතේ ජපානයට, තායිලන්තයට සහ සිංගප්පූරුවට එරෙහිව අද (20 වැනිදා) තරග බිමට පිවිසෙනු ඇත. 

‘බී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකාව, අද දිනයේදී සහභාගි වන පළමු තරගය ජපානයට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.48 ට ආරම්භ වීමට නියමිතය. ඉන් අනතුරුව තායිලන්තයට එරෙහිව පස්වරු 1.50 ටද, සිංගප්පූරුවට එරෙහිව පස්වරු 6.14 ටද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යළිත් තරග බිමට අවතීර්ණ වනු ඇත. 

හොං කොං රාජ්‍යය, මැලේසියාව, උස්බැකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජය්‍ය ‘ඒ’ කාණ්ඩය යටතේද, සත්කාරක චීනය, දකුණු කොරියාව, පිලිපීනය සහ චීන තායිපේ රාජ්‍යය ‘සී’ කාණ්ඩය යටතේද තරගාවලියට එක්ව සිටියි. කාණ්ඩ තුනේම පළමු ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් ඍජුවම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. 

කාණ්ඩ 3 හි දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් තුනෙන් ඉහළම දස්කම් දක්වන කණ්ඩායමටද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාවක් උදාවනු ඇත. අවසන් පූර්ව තරග දෙකෙන් ජය ලබන කණ්ඩායම් තරගාවලියේ ශූරතාව සඳහා තරග වදින අතර පරාජයට පත්වන කණ්ඩායම් තෙවැනි සහ සිවුවැනි ස්ථාන සඳහා තරග වදිනු ඇත. 

සෙසු කණ්ඩායම් 8 ට මූලික වටයේදී ඔවුන් දක්වන දස්කම් අනුව තරගාවලියේ 5 වැනි ස්ථානයත්, 12 වැනි ස්ථානයත් අතර ස්ථාන සඳහා තරග වැදීමට සිදුවනු ඇත. එබැවින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබමින් පළමු කණ්ඩායම් 4 අතරට එක්වීමට නම් ශ්‍රී ලංකාව මූලික වටයේදී සහභාගි වන තරග 3 ම ජයගත යුතුව තිබේ. 

තරගාවලියේ අවසන් පූර්ව තරග සහ ශ්‍රේණිගත ස්ථාන තේරීමේ තරග හෙට (21 වැනිදා) පැවැත්වෙන අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 3.56 ටය. අවසන් මහ තරගයෙන් අනතුරුව තරගාවලියේ කුසලාන ප්‍රදානෝත්සවය පැවැත්වෙන අතර එහිදී ආසියානු ශූරයන් කිරුළු පැළඳීමට නියමිතය. 

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියකදී ශ්‍රී ලංකාව ලබා ඇති ඉහළම ජයග්‍රහණය 2016 වසරේදී අනු ශූරතාව හිමිකර ගැනීමය. අවසන් වරට ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලියකට සහභාගි වූයේ 2022 වසරේදීය. එහි පළමු අදියරට සහභාගි නොවූ ශ්‍රී ලංකාවට දෙවැනි අදියරේ සිවුවැනි ස්ථානයත්, තෙවැනි අදියරේ 7 වැනි ස්ථානයත් සමගින් සමස්ත තරගාවලියේ 7 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. 


අදහස් (0)

ආසියාවේ අභිමානය සොයා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.