Last Update  :  2025-10-16 23:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby අපේ පළමු අභියෝගය චීනය පරාජය කිරීමයි
ආසියානු සත් සාමාජික රග්බි

අපේ පළමු අභියෝගය චීනය පරාජය කිරීමයි

editorial - 2025 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

රටවල් 12 ක සහභාගීත්වයෙන් කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙන 2025 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේදී සිය කණ්ඩායමේ පළමු අභියෝගය වන්නේ චීනය පරාජය කිරීම බව ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායක කවිඳු පෙරේරා පැවසීය. 

තරගාවලියට සූදානම් වීම සඳහා ඊයේ (16 වැනිදා) පැවැති පුහුණු සැසියෙන් අනතුරුව ‘ලංකාදීප’ වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියේය. මෙම තරගාවලියේ පළමු අදියර ඉකුත් සැප්තැම්බර් මාසයේ චීනයේදී පැවැති අතර එහිදී ශ්‍රී ලංකාවට සිවුවැනි ස්ථානයට පත්වීමට සිදුවූයේ අතිශය තියුණු තරගයකින් පසුව ශ්‍රී ලංකාව හමුවේ පරාජය වීම හේතුවෙනි.  

“මේ තරගාවලියෙදි ‘සී’ කාණ්ඩය යටතෙ තමයි අපි (ශ්‍රී ලංකාව) ක්‍රීඩා කරන්නෙ. මූලික වටයෙදි ‘සී’ කාණ්ඩයෙ ශූරයන් වෙන්න නම් අපිට අනිත් කණ්ඩායම් තුනම පරාජය කරන්න වෙනවා. එතනින් සිංගප්පූරුව සහ උස්බැකිස්තානය අපිට ලොකු අභියෝගයක් වෙන එකක් නෑ කියලා හිතනවා. චීනය පරාජය කිරීම තමයි අපිට අභියෝගයක් වෙන්නෙ.” යැයි කවිඳු කියා සිටියේය. 

චීනයේ පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ චීනය මුහුණට මුහුණ හමුවූයේ 3 වැනි සහ 4 වැනි ස්ථාන වෙනුවෙන් පැවැති තරගයේදීය. එහි පළමු අර්ධය නිමාවන විට ලකුණු 17-05 ක් ලෙස පෙරමුණ ගැනීමට චීනය සමත් වුවද, දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 17-17 ක් ලෙස දෙපිලේ ලකුණු සම තත්වයකට පත්කළහ. 

එහෙත් අවසන් විනාඩියේ අවසන් තත්පර කිහිපයේදී උත්සාහක දිනුමක් වාර්තා කළ චීනය, තරගය ජය ගනිමින් තරගාවලියේ 3 වැනි ස්ථානය තමන් සතුකර ගත්තේ ශ්‍රී ලංකාව 4 වැනි ස්ථානයට ඇද දමමිනි. එවර ශ්‍රී ලංකාව සහ චීනය මූලික වටයේදී කාණ්ඩ දෙකක් යටතේ තරග වැදුණද, මෙවර දෙපිලම එකම කාණ්ඩයකට ඇතුළත්ව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේදී චීනයෙන් ගියවර පරාජයේ වාඩුව ගැනීමට අවස්ථාවක් හිමිව තිබේ. ‘සී’ කාණ්ඩයේ ශූරයන් ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාව අනිවාර්යෙන්ම චීනය පරාජය කළ යුතුව තිබේ. යම් හෙයකින් ශ්‍රී ලංකාව චීනය හමුවේ පරාජය වුවහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවීසීම සඳහා කාණ්ඩ තුනේ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් අතරින් ඉහළම දස්කම් දක්වන කණ්ඩායම බවට පත්වීමට සිදුවනු ඇත. 

“ගිය පාරත් අපි චීනයට පැරදුනේ අන්තිම මොහොතෙ. අපේ අතින් වුණ පුංචි අඩුපාඩුවක් හින්දා තමයි එයාලට අනිත්ම මොහොතෙ ලකුණු ලබාගන්න අවස්ථාවක් ලැබුණේ. නැත්නම් එදා තරගය ලකුණු සමාන වෙලා අවසන් වෙලා, ජයග්‍රාහකයා තෝරන්න අතිරේක කාලයක් ක්‍රියාත්මක කරන්න වෙනවා. මේ පාර අපි අපේ අඩු පාඩු හදාගෙන තරග වදින්න බලාපොරොත්තු වෙනවා.” යැයි කවිඳු පැවසීය. 

චීනයේදී පැවැති තරගාවලියේදී නායක කවිඳුට අමතරව ශ්‍රී ලංකා සංචිතයේ සිටි ප්‍රවීන ක්‍රීඩකයන් වූයේ දිනාල් ඒකනායක සහ ආකාෂ් මධුෂංක පමණි. එහිදී සමස්තයක් ලෙස ගත්කළ සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් බහුතරයක් යොවුන් ක්‍රීඩකයෝ වූහ. එහෙත් මෙම තරගාවලියේදී සංචිතය සමබර කිරීම සඳහා අත්දැකීම් බහුල ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සංචිතයට කැඳවා සිටිති. 

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ හිටපු නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර සමගින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන දිලුක්ෂ දංගේ සහ හේෂාන් ජැන්සන් මෙම තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයට ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකාව අවසන් වරට 2022 වසරේදී ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වූයේද සූරියබණ්ඩාරගේ නායකත්වය යටතේය. 

“සූරි, දංගේ සහ ජැන්සන්ගේ පැමිණීමත් එක්ක කණ්ඩායමේ ශක්තිය වැඩි වුණා කියලා කියන්න පුලුවන්. මොකද කලින් සංචිතයෙ හිටපු ක්‍රීඩකයන් 13 දෙනාගෙන් 8 දෙනෙකු චීනෙදි ක්‍රීඩා කළේ එයාලගෙ පළවෙනි ජාත්‍යන්තර තරගාවලිය. මාත් එක්ක ගත්තාම ජාත්‍යන්තර අත්දැකීම් තිබුණු ක්‍රීඩකයො 5 දෙනයි ඒ සංචිතයෙ හිටියෙ. ඒත් දැන් තත්වය හාත්පසින්ම වෙනස්.” 

“අත්දැකීම් තියෙන් ක්‍රීඩකයන්ට පුලුවන් ක්‍රීඩාංගණයෙදි වගේම ක්‍රීඩාංගණයෙන් පිටතදිත් නවක ක්‍රීඩකයන් එක්ක එයාලගෙ අත්දැකීම් බෙදාගන්න. කණ්ඩායමක් විදියට ගත්තාම ඒක ලොකු වාසියක්. මොකද තරග දිනන්න අත්දැකීම් වගේම තරුණ ජවයත් එක වගේ බලපානවා. ඒ හින්දා අනිත් කණ්ඩායම් වලට හොඳ තරගයක් දීලා, තරගාවලියෙ ඉදිරියටම යන්න අපි බලාපොරොත්තු වෙනවා.” යැයිද ශ්‍රී ලංකා නායකයා සඳහන් කළේය. 


අදහස් (0)

අපේ පළමු අභියෝගය චීනය පරාජය කිරීමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.