Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner මෙල්බර්න් ගිහින් ගෙනා සල්ලි පිල්ලි ගියාද

මෙල්බර්න් ගිහින් ගෙනා සල්ලි පිල්ලි ගියාද

ශනුක අරවින්ද - 2018 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට්හිදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම එම තරගාවලිය අතරතුරදී සුහද ආධාර තරගාවලියකට සහභාගි වීම සඳහා මෙල්බර්න් නුවර සංචාරයක නිරත වූවත් ඉන් ලැබුණ අරමුදල් තවමත් ශ්‍රී ලංකා මේසපන්දු සංගමයට ලැබී නැතැයි වර්තා වේ.  

වාර්තා වන පරිදි ඔලිම්පික් කමිටුවේ මූලස්ථාන නිලධාරී ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ චන්දන පෙරේරා මහතා, මෙල්බර්න් නුවර වෙසෙන මේසපන්දු ක්‍රීඩාවට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ සහාය ඇතිව මෙම සංචාරය සූදානම් කර තිබේ.

මෙරට මේසපන්දු ක්‍රීඩාවට අරමුදල් රැස්කිරීම සඳහා මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලංකා මේසපන්දු ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් මෙම සුහඳ තරගාවලිය සංවිධානය කර තිබේ. තමා ඇතුළු මේසපන්දු කණ්ඩායමට ඊට සහභාගි වීමට අවසර ලබාදෙන ලෙස සඳහන් කරමින් චන්දන පෙරේරා මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානී චන්දන ලියනගේ මහතාට විද්‍යුත් ලිපියක් යොමුකර තිබූ බවද දැනගන්නට ලැබේ.

ශ්‍රී ලංකා මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේදී 12 වැනිදා ඉන්දියාට එරෙහිව යුගල තරග 2 කට මුහුණදීමට නියමිතව තිබුණ අතර ඊට පෙර දින (11 වැනිදා) මෙම විද්‍යුත් ලිපිය යොමුකර තිබුණි. යම් හෙයකින් ශ්‍රී ලංකා කන්ඩායම් එම යුගල තරග දෙකෙන් එකක් හෝ ජයගත්තේ නම් ඔවුන්ට පසුදිනද (13 වැනිදා) තරගවලට සහභාගිවීමට නියමිතව තිබුණි.  

එසේ තිබියදීත් 13 වැනිදා මෙල්බර්න් නුවර සංචාරයක නිරත වීමට අවසර ඉල්ලා සිටීමෙන් පෙනී යන්නේ ඉන්දියාවට එරෙහිව පැවැති තරග අනිවාර්යෙන්ම පරාජය වන බවට ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම පූර්ව නිගමනයකට පැමිණ සිටීම නිසා වියහැකි යැයි ඒ පිළිබඳව අදහස් දක්වන්නෝ පැවසූහ.

චන්දන පෙරේරා මහතා සමග මේසපන්දු කණ්ඩායමේ පුහුණුකරු වජිර වික්‍රමසිංහ මහතා, කළමනාකරු චතුර ජයේන්ද්‍ර මහතා මෙන්ම රොහාන් සිරිසේන, නිර්මල ජයසිංහ සහ උදය රණසිංහ යන ක්‍රීඩකයන්ද මෙම සංචාරයට සහභාගි වී ඇතැයි වාර්තාවේ.  

මෙල්බර්න් සංචාරය සම්බන්ධයෙන් වැඩිදුර කළ සොයා බැලීමේදී දැනගත හැකිවූයේ එහිදී ඔවුන් කිසිදු තරගයකට සහභාගී වී නොමැති බවත්, මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් සමග ඔවුන් සුහද හමු කිහිපයකට පමණක් සහභාගි වී ඇති බවත්ය.

එම සංචාරයෙන් ඔවුන්ට යම් අරමුදලක් ලැබුණානේ නම් එම අරමුදල ශ්‍රී ලංකා මේසපන්දු සංගමයට  භාරදුන්නේද යන්න පිළිබඳව මේසපන්දු සංගමයේ ලේකම් කසුන් උදාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ එවන් මෙල්බර්න් සංචාරයක් පිළිබඳ තමා ඇතුළු සංගමය දැනුවත්ව නොසිටි බවත්, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ කණ්ඩායම එවැනි කිසිදු අරමුදලක් මෙතෙක් තම සංගමයට ලබාදී නැති බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා සඳහන් කර සිටියේ මේසපන්දු සංගමයේ විධායක කමිටුවේ ඒකමතික තීරණයට අනුව මේසපන්දු කණ්ඩායමේ කළමනාකරු ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වීමට නියමිතව සිටියේ තමා බවයි. තෝරාගත් මේසපන්දු කණ්ඩායම සමග කණ්ඩායමේ නිලධාරීන්ගේ නම්ද ජාතික ඔලිම්පික් කමිටුවට යොමුකළද, අවසානයේ ඔලිම්පික් කමිටු බලධාරීන් තමාගේ නම ඉවත්කර ඒ වෙනුවට මේසපන්දු සංගමයේ වැඩබලන සභාපති චතුර ජයේන්ද්‍ර මහතාගේ නම කළමනාකරු ලෙස ඇතුළත්කර තිබූ බවද ලේකම්වරයා පැවසීය.

මේසපන්දු සංගමයේ විධායක කමිටුව ගත් තීරණය ඔලිම්පික් කමිටුවේ බලධාරීන් වෙනස් කිරීම   සම්බන්ධයෙන් විමසමින් තමා වත්මන් ලිම්පික් කමිටු සභාපතිවරයාට විද්‍යුත් ලිපියක් යොමුකළද තවමත් ඊට පිළිතුරක් නොලැබුණ බවද එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


අදහස් (0)

මෙල්බර්න් ගිහින් ගෙනා සල්ලි පිල්ලි ගියාද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.