Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සරණාගතයන්ගේ කණ්ඩායමට 29 ක්

සරණාගතයන්ගේ කණ්ඩායමට 29 ක්

editorial - 2021 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සංජීව ධර්මසේන)

ඔලිම්පික් උළෙලට සරණාගත කඳවුරු තුළ දිවිගෙවන සාමාජියකයන්ටද අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පළමුවරට 2016 රියෝ ඔලිම්පික් උළෙලට කණ්ඩායමක් ඉදිරිපත් කළ අතර, එම තීරණය අනුව යමින් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලටද කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, බොක්සිං, කැනෝයිං, පාපැදි, ජූඩෝ, කරාතේ, වෙඩිතැබීම, පිහිනුම්, ටයිකොන්ඩෝ, බර ඉසිලීම සහ මල්ලවපොර යන ක්‍රීඩා 12ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 දෙනෙකු ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට වරම් හිමිකරගෙන සිටියි.

විවිධ හේතූන් මත සරණාගත කඳවුරු තුළ දිවිගෙවූ මෙම ක්‍රීඩකයන් ඇෆ්ගනිස්තානය, සිරියාව, ඉරානය, දකුණු සුඩානය, කොන්ගෝ, එරිත්‍රියාව, වෙනුසියුලාව, කැමරූන් යනාදි රටවලට අයත් අය වෙති. කෙසේ නමුත් මේ වනවිට ඔවුන් ඔලිම්පික් උළෙල නියෝජනය කිරීම සඳහාවන පුහුණුවීම් කටයුතු වෙනුවෙන් ඔවුන් කටාර් වෙත පැමිණ සිටියි.

මෙම කණ්ඩායමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කීර්තිනාම තානාපති ලෙස කටයුතු කරන යුස්රා මර්ඩිනීද ඇතුළත් අතර, ඇයගේ දෙවැනි ඔලිම්පික් උළෙල මෙය වේ. 23 හැවිදිරි යුස්රා සිරියාවේ ඇති වූ සිවිල් යුද්ධය හේතුවෙන් 2015 වසරේදී ජර්මනියට පලාගිය තැනැත්තියකි.

එමෙන්ම රියෝ ඔලිම්පික් උළෙලේදී ජූඩෝ ක්‍රීඩාවෙන් කැපී පෙනෙන දක්‍ෂතාවක් දැක් වූ  කොන්ගෝ ජාතිකයෙකු වන පොපෝල් මිසෙන්ගා මෙවරත් ඔලිම්පික් වරම් හිමිකරගෙන සිටියි. ඔහු රියෝ ඔලිම්පික් උළෙලේදී අවසන් 16 දෙනා අතරට පැමිණීමට සමත් වූවෙකු වන අතර, එහිදී දකුණු ආසියානු ජූඩෝ ශූරයෙකු වන ඉන්දියාවේ අවටාර් සිං පරාජය කිරීමටද සමත් විය.

කෙසේ නමුත් කෝවිඩ්-19 බලපෑම හේතුවෙන් සරණාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුටම මෙවර ඔලිම්පික් බලාපොරොත්තු අතහැර ගැනීමට සිදුව ඇත.

මේ අතර සරණාගත කණ්ඩායම පසුගිය බඳාදා කටාර් සිට ජපානය බලා පිටත්ව යාමට සූදානමින් සිටියද, එම කණ්ඩායමේ නිලධාරියෙකු කෝවිඩ්-19 ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් එම පිටත්ව යාම මේ වනවිට ප්‍රමාද වී ඇත. කෙසේ නමුත් ඔවුන් දිනපතා පරීක්ෂාවට ලක් කරමින්, පුහුණුවීම් කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යනු ලබයි.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු (අයි.ඕ.සී.) විධායක මණ්ඩලය ලොව පුරා සරණාගත කඳවුරු තුළ දිවිගෙවන ක්‍රීඩාවට දක්‍ෂ අය වෙනුවෙන් සරණාගත කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට තීරණය කළ අතර, එහි පළමු පියවර ලෙස රියෝ ඔලිම්පික් උළෙලට 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරිපත් කළේය.

සරණාගත කණ්ඩායමට තෝරාගන්නා සියලු දෙනා එක්සත් ජාතීන්ගේ සරණාගත තත්ත්වය ලැබූ අය වෙති. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අනුව හිංසා, පීඩා, යුද්ධය හෝ ප්‍රචණ්ඩත්වය නිසා තම රටින් පලා යාමට සිදු වූ අය සරණාගතයන් ලෙස සළකනු ලබයි.

එක්සත් ජාතීන්ගේ දත්ත වාර්තාවන්ට අනුව පසුගිය 2020 වසර අවසන් වනවිට ලොව පුරා පිහිටුවා ඇති සරණාගත කඳවුරු තුළ මිලියන 26.4ක් ජීවත්වන අතර, ඔවුන්ගෙන් අඩක් පමණ වයස අවුරුදු 18ට අඩු අය වෙති.


අදහස් (0)

සරණාගතයන්ගේ කණ්ඩායමට 29 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.