Last Update  :  2024-05-17 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වූෂූ ක්‍රීඩකයන් දෙදෙනකුගේ පුහුණුවට වැට බඳිති

වූෂූ ක්‍රීඩකයන් දෙදෙනකුගේ පුහුණුවට වැට බඳිති

editorial - 2023 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

වූෂූ ක්‍රීඩකයන් දෙදෙනෙකුට, ඉරානයේදී පැවැත්වෙන මාස තුනක පුහුණු පාඨමාලා දෙකක් සඳහා සහභාගි වීමේ අවස්ථාව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අවහිර කර ඇතැයි ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතා කියයි. මේ වසරේ අගභාගයේදී චීනයේ හංජෝ නුවරදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඉරානයේදී පැවැත්වෙන පුහුණු පාඨමාලාවකට සහභාගි වීමට පී.එන්. බලවර්ධන සහ කේ.පී.ඒ. කුමාර යන නාවික නිලධාරීන් දෙදෙනා සූදානමින් සිටියහ.

පුහුණුවීම සඳහා මෙම ක්‍රීඩකයන් දෙදෙනා නිදහස් කිරීමට නොහැකි බව නාවික හමුදාව විසින් ලිඛිතව දන්වා ඇති බවත් ඒ වෙනුවෙන් මැදිහත් වී ක්‍රීඩකයන් දෙදෙනා නිදහස් කර දෙන ලෙස ක්‍රීඩා අමාත්‍යංශයට ලිඛිතවම දන්වා ඇති බවත් ධර්මකීර්ති මහතා කියයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැතුම් බලවර්ධනට 2018 වසරේ ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කමක් අහිමි වූයේ යන්තමිනි. එහෙත් දිගින් දිගටම පුහුණුවීම් කළ පැතුම් මේ වන විට හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ පදක්කම් අපේක්ෂාවක් බවට පත්ව ඇත. පදක්කමක් දිනාගත හැකිවුවහොත්, එය දශකයකට ආසන්න කාලයකට පසුව ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට හිමිවන පදක්කමකි.

මෙම තත්ත්වය විශ්ලේෂණය කළ ශ්‍රී ලංකා වුෂු සම්මේලනය, ලොව ප්‍රබලතම වූෂු ක්‍රීඩකයන් සිටින ඉරානය හා සාකච්ඡා කරමින්, ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඉරානයේදී මාස තුනක ඉහළම පන්තියේ පුහුණුවීම් කිරීමේ අවස්ථාව සලසා දුන්නේය. මෙම ක්‍රීඩකයෝ තිදෙනාට නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක් සහ යුද හමුදා නිලධාරියෙක් ඇතුළත්ව සිටිති. ඉහළම මට්ටමේ වූෂූ පුහුණුකරුවකු වන අබ්බාස් ෂීබාක් යටතේ, ජුනි මාසයේ සිට අගෝස්තු දක්වා පුහුණුවීමට කිරීමට ඔව්හු සූදානම් වී සිටියහ.

ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසයේදීය. එසේ වුවත්, නාවික හමුදා නිලධාරීන් දෙදෙනාගේ ගමන අවහිර කිරීම නිසා පදක්කම් බලාපොරොත්තුවෙන් සිටින තිදෙනාගෙන් කිසිවකුට ඉරානයට යාමට නොහැකි වී තිබේ. වුෂු සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතා පවසන පරිදි, නාවික හමුදාව තම ක්‍රීඩකයන් දෙදෙනා නතර කරගෙන සිටින්නේ ඔවුන් දෙදෙනාම ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලට සහභාගි කරවා ගැනීමේ අරමුණ ඇතිවය. එහෙත් එය ‘සුසන්තිකාට ඔලිම්පික් පුහුණුවට නොයා, ප්‍රාදේශීය ලේකම් තරගාවලියට සහභාගි වෙන්න’යි කීවාක් වැනි බව ධර්මකීර්ති මහතා කියයි.

“සම්මේලනයක් ලෙසින් අපි මේ පිරිමි ළමයින්ගේ හැකියාවන් පැහැදිලිව දකිනවා. අපි අවුරුදු ගණනාවකින් ආසියානු පදක්කමක් දිනාගෙන නැහැ. ඒ නිසා අපි මේ ළමයින්ට, ආහාර සහ නවාතැන් ඇතුළු සෑම පහසුකමක්ම සමගින්, අවශ්‍ය ඉහළම පුහුණුව ඉරානයේදී ලබාදීමට කටයුතු සකස් කළා”

“අපි මුලින් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ ගුවන් ගමන් සඳහා අනුග්‍රහය දක්වන ලෙසයි, නමුත් ඔවුන් එය කෙලින්ම ප්‍රතික්ෂේප කළා. සම්මේලනයක් ලෙස අපට වඩාත් වැදගත් වන්නේ අපගේ ක්‍රීඩකයා නිසා හැම අභියෝගයක්ම අපි අතට අරගෙන මේ ක්‍රීඩකයන් ඉරානයට යවන්න හැදුවත් දැන් කියනවා ජූලි 9 වෙනකම් ක්‍රීඩකයන් දෙදෙනා නිදහස් කරන්න බැහැ කියලා”

“ඒ මේ අය ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලට සහභාගි කරවන්න නාවික හමුදාවට අවශ්‍ය හින්දා කියලා මට තේරෙනවා ” යයි ද ධර්මකීර්ති මහතා පැවසීය.

ප්‍රමාද වී පැමිණීම ඔවුන්ගේ පුහුණුවීම් සඳහා බාධාවක් විය හැකි බැවින්, ඉරානයේ වුෂු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට දන්වා ඇත්තේ ජූනි 10 වන විට ක්‍රීඩකයන් තිදෙනා ඉරානයට එවන ලෙයසි. නමුත් ක්‍රීඩකයන් දෙදෙනා නිදහස් කිරීමට නාවික හමුදාව සූදානම් නොවන බැවින් යුද හමුදා ක්‍රීඩකයාගේත් ගමන අවහිර වී තිබේ. මෙම ක්‍රීඩකයන් තිදෙනා සඳහාම ගුවන් ප්‍රවේශපත් වියදම් දැරීමට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සූදානමින් සිටින බවද ධර්මකීරති මහතා වැඩිදුරටත් කියයි.

“මේ තත්ත්වය සම්බන්ධයෙන් අපට වුෂු සම්මේලනයෙන් ලිපියක් ලැබිලා තියෙනවා. පළමුව රට ඉදිරියට පැමිණිය යුතු බව අපට වැටහෙනවා. ඒ නිසා ඉරානයේ පුහුණුවීම්වලට සහභාගි වීම සඳහා ක්‍රීඩකයන් නිදහස් කරන ලෙස අපි ඔවුන්ට දැනුම් දුන්නා,” යයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අරුණ මුතුමාල මහතා ඩේලි මිරර් පුවත් පතට පවසා තිබේ.

 


අදහස් (0)

වූෂූ ක්‍රීඩකයන් දෙදෙනකුගේ පුහුණුවට වැට බඳිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.