Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලක්‍ෂමී වික්ටෝරියාට පැහැදිලි ජයක්

ලක්‍ෂමී වික්ටෝරියාට පැහැදිලි ජයක්

editorial - 2022 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නව සභාපතිනිය ලෙස ඉදිරි දෙවසරක් (2022-24) සඳහා ලක්‍ෂමී වික්ටෝරියා මහත්මිය වැඩි ඡන්ද 10කින් තේරී පත්වූවාය. රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සාමාජික සංගම් 32ක සහභාගිත්වයෙන් ඊයේ (31) පැවැති නිලවරණයේ දී වික්ටෝරියා මහත්මිය ඡන්ද 21ක් ලබාගත් අතර ඇගේ ප්‍රතිවාදිනිය වන ක්ලැරිල් ටෝසර් මහත්මියට ලබා ගත හැකි වූයේ ඡන්ද 11ක් පමණි.

නව සභාපතිනි ලක්‍ෂමී වික්ටෝරියා මහත්මිය මීට පෙර දෙවතාවක්ම දැල්පන්දු සම්මේලනයේ මුල් පුටුව හෙබ වූ අත්දැකීම් පිරිපුන් නිලධාරිණියකි. ජනසතු සේවා දැල්පන්දු සංගමයේ සභාපති ධුරය වසර ගණනාවක් තිස්සේ හොබවන අතර ඇය ආසියානු දැල්පන්දු සම්මේලනයේ වත්මන් උප සභාපතිනියකි.

හිටපු සභාපතිනි (2021-22) රංජනි ජයකොඩි මහත්මිය ඇතුළු හිටපු විධායක සභාවේ නිලධාරිනියන් මෙවර නිලවරණයට ඉදිරිපත් නොවීම කැපීපෙණුනි. ක්ලැරිල් ටෝසර් මහත්මිය පළමු වතාවට දැල්පන්දු සම්මේලනයේ මුල්පුටුව සඳහා තරග වැදුණේ බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය නියෝජනය කරමිනි.

ප්‍රධාන ලේකම් ධුරය සඳහා පැවැති ඡන්ද විමසුම 20-09ක් ලෙස ජයගත් වින්දනා දයාරත්න මහත්මිය දැල්පන්දු සම්මේලනයේ නව ලේකම්වරිය ලෙස තේරී පත්වුණේ බී.ඩී.එස්. සුමිත්‍රා මහත්මිය පරාජයට පත් කරමිනි.

දැල්පන්දු සම්මේලනයේ වත්මන් විධායක සභාව තනතුරු පහකට පමණක් සීමා වන අතර භාණ්ඩාගාරික ඡන්ද ධුරය සඳහා පැවැති ඡන්ද විමසුම එක් අවස්ථාවක දී 16-16ක් ලෙස සමවීම නිසා අපේක්‍ෂිකාවන් දෙදෙනා අතර ඒ සඳහා ඡන්ද විමසුම නැවත කැඳවීමට සිදුවිය.

එහිදී පද්මිණි හොරණගේ මහත්මිය වැඩි ඡන්ද දෙකකින් (17-15) ජයන්ති ජයසූරිය මහත්මිය පරාජය කරමින් භාණ්ඩාගාරික ධුරයට පත්වූවාය.

නාමයෝජනා කැඳවීමේදී  උප භාණ්ඩාගාරික ධුරයට එකම නාම යෝජනාව ඉදිරිපත් කර සිටි ලයානි රේණුකා කුරුප්පු මහත්මිය ඊට නිතරගයෙන් පත්වූවාය.

ඡන්ද විමසුම ඊයේ පැවැති අවස්ථාවේදී චම්පා ගුණවර්ධන මහත්මිය උප ලේකම් ධුරයට ඉදිරිපත් කර සිටි සිය නාමයෝජනාව ඉල්ලා අස්කර ගැනීමෙන් ඒ සඳහා නිතරගයෙන් පත් වූයේ නිත්‍යාංජලී පුලේන්ද්‍රන්  මහත්මියයි.

ඊයේ පැවැති නිලවරණයේ දී සභාපති ධුරයට ඉදිරිපත් කර සිටි නාමයෝජනා තුනක් ඉවත් කර ගැනීමට කටයුතු කළේය. ත්‍රිකුණාමලය, මුලතිව් හා මඩකලපුව යන දැල්පන්දු අනුසංගම් තුනක් (3) ඊයේ ඡන්ද විමසුමෙන් ඉවත් කර තිබුණි.


අදහස් (0)

ලක්‍ෂමී වික්ටෝරියාට පැහැදිලි ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.