Last Update  :  2024-05-17 16:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මන්ත්‍රී දොලවත්තට එරෙහිව විරෝධතාවක්

මන්ත්‍රී දොලවත්තට එරෙහිව විරෝධතාවක්

editorial - 2023 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ සභාපති ධුරයට ඉදිරිපත් වීමේ දී ඒ සඳහා ක්‍රීඩා  ඇමැතිවරයාගේ අනුමැතිය ලබාගත් ලිපියක් නිලවරණයට ඉදිරිපත් කර නැතැයි කරුණු දක්වමින් සභාපති අපේක්‍ෂකයෙකු වන ධම්මික නිෂාන්ත කරුණාධාර මහතා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා වෙත විරෝධතා ලිපියක් ඉදිරිපත් කර තිබේ.

එම ලිපියට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අනුර මුතුමාල මහතා දැනුම් දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කිරීමට අදාළ අංශවලට උපදෙස් දුන් බවයි.

පසුගිය අප්‍රේල් 27 වැනිදා පැවැති ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ නිලවරණයේ දී සභාපති ධුරයට වැඩි ඡන්දයෙන් තේරී පත්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතාය. එහිදී ප්‍රධාන ලේකම් ධුරයට තේරී පත්වූයේ උදාර සසංවල ලියන්වල මහතායි. කෙසේ වුවත් එම නාමයෝජනා ඇතුළු විධායක සභාවට ඉදිරිපත් වූ අපේක්‍ෂකයන් පිරිසකගේ නාමයෝජනා ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටුව හමුවේ අභියෝගයට ලක්විය.
එහෙත් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ එම විරෝධතා ප්‍රතික්ෂේප වීමෙන් දොලවත්ත මහතා ඇතුළු අපේක්‍ෂකයන්ට නිලවරණයට ඉදිරිපත්වීමේ බාධා මගහැරුණි.

මේ අතර මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් නියෝග ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පෙත්සම්කරු වන මාතර දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමයේ ලේකම් තුෂාර ප්‍රියන්ජිත් කොග්ගල හේවගේ මහතා ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ. එහිදී ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඇතුළු වගඋත්තරකරුවන් 11 දෙනෙකු නම් කරමින් පෙත්සම්කරු,  ක්‍රීඩා ඇමැතිවරයාගේ ක්‍රීඩා පනතේ සංශෝධිත රෙගුලාසි කීපයක් අභියාචනාධිකරණයේ දී පෙන්වාදෙමින්, සභාපතිවරයාගේ පත්වීම අභියෝගයට ලක් කර තිබේ.  ඒ අනුව එම සංශෝධිත රෙගුලාසි වාරණයට ලක් කරමින් අභියාචනාධිකරණය ලබාදුන් රිට් ආඥාවට අනුව කටයුතු කරන ලෙසත් පෙත්සම්කරු ක්‍රීඩා අමාත්‍යාංශයට කරුණු ඉදිරිපත් කරමින් අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමක දී ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ජිම්නාස්ටික් සංගමයේ පත්වීම් අරභයා පැන නැගී ඇති මෙම කරුණු කාරණා සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගන්නා බවයි.

වත්මන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා මෑත දී නැවත හඳුන්වාදුන් ක්‍රීඩා පනතේ සංශෝධිත වගන්ති ප්‍රකාරව අදාළ ක්‍රීඩාවේ නියැළි නැති වුණත් ක්‍රීඩා ඇමැතිවරයාගේ ලිඛිත අනුමැතිය ලබාගත් අපේක්‍ෂකයකුට ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ තනතුරු සඳහා ඉදිරිපත් විය හැකිය.


අදහස් (0)

මන්ත්‍රී දොලවත්තට එරෙහිව විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.