මැයි 30 වැනිදා ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන 15 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ එක්දින කණ්ඩායම අද (16 වැනිදා) නම්කරන ලදි. බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය මෂ්රෆී මොර්ටසා හට හිමිව තිබේ.
2015 දී පැවැති ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩාකළ ක්‍රීඩකයින් 15 දෙනාගෙන් 8 දෙනෙකු මෙවර පැවැත්වෙන ලෝක කුසලාන සංචිතයට නම්කර ඇත. මෂ්රෆී මොර්ටසා, ටමීම් ඉක්බාල්, සකීබ් අල් හසන්, මුෂ්ෆිකුර් රහීම්, සෞම්‍ය සර්කාර්, සබීර් රෙහ්මන්, මහ්මුදුල්ලා රියාද්, රුබෙල් හුසේන් මෙවර තරගාවලියේදීද සිය ස්ථාන රැකගැනීමට සමත්ව සිටිති.
ලිටන් දාස්, මොහොමඞ් මිතුන්, මොසැඩෙක් හුසේන්, මෙහෙදි හසන්, මොහොමඞ් සයිෆූඩීන්, අබූ ජායිඞ් සහ මුස්ටෆීසූර් රහ්මන් ලෝක කුසලාන සංචිතයට එක්කර ගැනීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එනමුල් හක්, ඉම්රුල් කයිස්, මොමිනුල් හක්, නසීර් හුසේන්, අරෆත් සනී, තයිජුල් ඉස්ලාම් සහ ටස්කින් අහ්මඞ්ට සිය ස්ථාන අහිමිවී ඇත.
ටෙස්ට් තරග 5 කට සහ විස්සයි 20 තරග 3 කට පමණක් ක්‍රීඩාකර ඇති දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක අබූ ජායිඞ්ට මෙවර ලෝක කුසලාන තරගාවලියේදී එක්දින වරම් හිමිකර ගැනීමේ අවස්ථාව උදාවී ඇත.
දකුණු අප්‍රිකාවට එරෙහිව ලන්ඩන්හී කෙනිංග්ටන් ඕවල්හිදී ජූනී මස 2 වැනිදා බංග්ලාදේශය තරග වැදීමට නියමිතව ඇත.
බංග්ලාදේශ සංචිතය
මෂ්රෆී මොර්ටසා (නායක), ටමීම් ඉක්බාල්, ලිටන් දාස්, සකීබ් අල් හසන්, මුෂ්ෆිකූර් රහීම්, මොහොමඞ් මිතුන්, සෞම්‍ය සර්කාර්, මහ්මුදුල්ලා රියාද්, සබීර් රහ්මන්, මෙහෙදී මිර්සා, රුබෙල් හුසේන්, මුස්ටෆීසූර් රහ්මන්, අබූ ජායිඞ්, මොහොමඞ් සයිෆූඩීන් සහ මොසැඩෙක් හුසේන්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.