Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාපැදි සම්මේලනයේ නව සභාපති වෛද්‍ය අමල් හර්ෂ

පාපැදි සම්මේලනයේ නව සභාපති වෛද්‍ය අමල් හර්ෂ

editorial - 2022 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු සභාපතිවරයෙකු වන විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පත්විය. ඒ කොළඹ රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ කැඳවා තිබූ නිලවරණයේ දී  ඡන්ද 22ක් ලබමිනි.

සිල්වා මහතා වසර 2015-17 කාල සීමාවේ දී පාපැදි සම්මේලනයේ සභාපති ධුරයේ කටයුතු කර තිබේ. මේ වනවිට ග්‍රාමීය, ආර්ථික භෝග ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ඔහු ජාතික ප්‍රවීන්යන්ගේ පාපාපැදි සංගමයේ සභාපති ධුරය දරමින් මෙවර පාපැදි නිලවරණයට ඉදිරිපත් විය.

සෙනසුරාදා පැවති පාපැදි සම්මේලනය නිලවරණය  මතභේදාත්මක තත්ත්වයක් ගත් අතර ඊට හේතු වූයේ නාමයෝජනා බාරදුන් පාර්ශවයක් නිලවරණය වර්ජනය කිරීමයි. ඒ හේතුවෙන් ඊට සහභාගි වූ ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් ගණන 22කට සීමා විය.

ඒ අනුව සභාපති අපේක්ෂක බී.ජේ. සුමනසේකර, ලේකම් ධුර අපේක්ෂක එච්.එල්. ක්‍රිෂාන්ත යන මහත්වරුන්ගෙන් සමන්විත නාමයෝජනා බාරදුන් පාර්ශවයක් මෙම නිලවරණය වර්ජනය කළේය. ඔවුන්ට සහයෝගය දැක්වූ ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම්17ක්ද පෙරේදා පැවැති නිලවරණයට සහභාගි නොවූහ.

ඒ අතර අන්තර් ජාතික පාපැදි සම්මේලනය තවදුරටත් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ලෙස පිළිගන්නා අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතාට පක්ෂපාතී ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් 11ක් පාපැදි සම්මේලනයේ පැවැති විධායක සභාව නොසලකා හරිමින් දිගින් දිගටම කටයුතු කරන තත්ත්වයක් තුළ ඔවුන් ප්‍රකාශ කර සිටියේ ද මෙවර නිලවරණය වර්ජනය කරන බවයි.

පාපැදි සම්මේලනයේ පැවැති එම විධායක සභාව නිවේදනය කළේ එහි ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් නිලවරණයත් ඉවත් කිරීමට තීරණය කළ බවයි. කෙසේ වුවත් හිටපු විධායක සභාව මෙහෙය වූ සභාපති එච්.එල්. ක්‍රිසාන්ත මහතා ද පෙරේදා පැවති නිලවරණය වර්ජනය කිරීමට එක්වීම කැපී පෙනෙන සිදුවීමකි.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශය සභාපති අපේක්ෂක බී.ජේ. සුමනසේකර මහතාගේ පාර්ශවය ඉදිරිපත් කළ විරෝධතාවයක් විභාග කිරීම සඳහා බාරගෙන තිබිය දී පෙරේදා නිලවරණ කැඳවීමට සියලු අභිමතය පරිදි නිලවරණ කමිටුව ගත් තීරණය ද මතභේදාත්මක විය.
ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා සිය කණස්සල්ල පළකර තිබුණි. ඒ අතර ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ඒ පිළිබඳව පැවසුවේ ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සලසා තිබෙන බැවින් නිලවරණ කමිටුවේ අභිමතයට ක්‍රීඩා අමාත්‍යාංශය බලපෑම් නොකරන බවයි.

සෙනසුරාදා පැවැති නිලවරණයේ දී ඡන්ද 22ක් ලැබූ හිටපු ලේකම් නලින් අධිකාරිආරච්චි මහතා යළිත් එම ධුරයට පත්විය.

මෙම නිලවරණය නිරීක්ෂණය කිරීමට ජාතික ඔලිම්පික් කමිටුවට කර තිබූ ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් එහි මහලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා නිවේදනය කර සිටියේ අන්තර් ජාතික පාපැදි සම්මේලනය පිළිනොගන්නා පාර්ශව මෙහෙය වන නිලවරණ සඳහා ජාතික ඔලිම්පික් කමිටුව සහභාගි නොවන බවයි.

පාපැදි සම්මේලනයේ නව සභාපති අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ පාපැදියේ අගය රටට තදින්ම දැනී ඇති කාලයක එහි අගය ජනතාව අතරට තවත් කාවැද්දීම සඳහා පාපැදි ක්‍රීඩාව යොදා ගන්නා බවයි.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නව විධායක සභාව
♦ සභාපති:- විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා
♦ ලේකම්:- නලින් අධිකාරිආරච්චි මහතා
♦ භාණ්ඩාගාරික:- ඩී.එන්.ඒ. පාලිත මහතා
♦ උප සභාපතිවරු (7):- ඩී.එම්. දිසානායක, චන්දන කඳනආරච්චි, රංග පෙරේරා, ඩබ්ලිව්. ජයලත්, දීපානන්ද වැල්ලගේ, එන්.එම්. මොල්ලිගොඩ යන මහත්වරු (එක් ධුරයක් පාසල් සංගමයට නිල බලයෙන් ප්‍රදානය වේ.)
♦ උපලේකම්:- ඒ.එම්. අකරවිට මහතා


අදහස් (0)

පාපැදි සම්මේලනයේ නව සභාපති වෛද්‍ය අමල් හර්ෂ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.