Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාපැදි සම්මේලනයට සභාපතිවරයෙකු නෑ

පාපැදි සම්මේලනයට සභාපතිවරයෙකු නෑ

editorial - 2023 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මාස හතකට ආසන්න කාලයක් තිස්සේ සභාපතිවරයකු නොමැතිව පවත්වාගෙන යන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ කවුන්සිලය රැස්කිරීමද මාස නවයකින් සිදුවී නැතැයි වාර්තා වේ.

පාපැදි සම්මේලනයේ වත්මන් විධායක සභාව පත්වූයේ මැයි 29 වැනිදා පැවැති නිලවරණයේදීය. එහිදී සභාපති ධුරයට පත්වූයේ මීට පෙරත් එම ධුරය දරා තිබෙන විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාය. ඔහු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පසුගිය ජුලි 28 වැනිදා පත්වීමත් සමග පාපැදි සම්මේලනයේ සභාපති ධුරයෙන් ඉවත් විය.

ඉහත තත්ත්වයන් යටතේ පාපැදි සම්මේලනයේ කටයුතු රැසක් මාස ගණනාවක් තිස්සේ අකර්මන්‍ය තත්ත්වයට පත්ව තිබේ. එහෙත් ජාතික පාපැදි තරගාවලිය (2022) ඇතුළු දේශීය තරග මාලා කීපයක් පැවැත්වීමට වත්මන් විධායක සභාව කටයුතු කර තිබේ.

කෙසේ වුවත් දිස්ත්‍රික් පාපැදි ක්‍රීඩා සංගම් හා ක්‍රීඩා සමාජ ගණනාවක ප්‍රධානින් ලංකාදීපයට පැවැසුවේ සම්මේලනයේ ප්‍රධානතම තනතුර හිස්ව තබමින් හා තීරණ හා තීන්දු ගන්නා කවුන්සිලය මාස ගණනාවක්ම රැස් කිරීමට කටයුතු නොකිරීම මෙරට පාපැදි ක්‍රීඩාවේ පැවැත්මට බලපාන බරපතළ කාරණා දෙකක් වන බවයි.

විශේෂ මහ සභාවක් කැඳවමින් සභාපති ධුරයට නාමයෝජනාවක් අනුමත කර ගැනීමට මෙකී කාලයේදී විධායක සභාව පියවර නොගැනීමෙන් තත්ත්වය වඩාත් බරපතළ වී තිබෙන බවත් ඔවුහු පවසති.

දැනට කටයුතු කරන පාපැදි සම්මේලනයේ නිල කාලය ලබන මැයි 31 වැනිදාට අවසන්වීමට නියමිතය. මෙරට පාපැදි ක්‍රීඩාව තව දුරටත් පිරිහී යාමට හේතුවී තිබෙන සෙසු ප්‍රධානතම කාරණයක් වන්නේ වත්මන් විධායක සභාව පිළිගැනීම අන්තර්ජාතික පා පැදි සම්මේලනය මේ දක්වා ප්‍රතික්ෂේප කිරීමයි. ඒ මැයි 29 වැනිදා පැවැති නිලවරණයට තෙවැනි පාර්ශ්වයක් (ක්‍රීඩා අමාත්‍යංශය) අත පෙවූ බවට චෝදනා කරමිනි.

මෙරට පාපැදි පරිපාලනය අරබයා කාලයක් තිස්සේ පාර්ශ්ව දෙකක් ප්‍රධාන වශයෙන් ඉස්මතුවෙමින් ඇති කරගෙන තිබෙන ගැටුම පසුගිය ඉරිදා (19) ගම්පහදී පැවැති තරග මාලාවක දී නැවත ප්‍රදර්ශනය විය.

එහිදී තරග සංවිධානය කළ පාර්ශ්වයට ඒ සඳහා හිමිකම් නැතැයි කියමින් එරෙහි තවත් පාර්ශ්වයක් පොලිසියට පැමිණිලි කිරීම හැරෙන්නට ක්‍රීඩා අමාත්‍යංශයටද ඔවුන් පැමිණිලි කළේය.

කෙසේ වුවත් ගම්පහ තරගමාලාව ඉරිදා යොදාගත් පරිදි පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළම බලධාරියකුගෙන් අනුමැතිය ලැබුණි. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපැදි තහනමක් පනවා නැතත් මෙරට ජාත්‍යන්තර තරග සහභාගිත්වයේ සම්බන්ධීකරණය අන්තර්ජාතික සම්මේලනය විසින් ලබාදී ඇත්තේ අන්තර්ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා සභාපති ධුරය දැරූ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු විධායක සභාව වෙතය.

මේ අතර පාපැදි සංගමයේ ලේකම්වරයා 2022 දෙසැම්බර් 28 වැනිදා සම්මේලනයේ ලිපි ශීර්ෂය යොදාගනිමින් 75 වැනි නිදහස් සංවත්සර පාපැදි සවාරිය සම්බන්ධයෙන් නිකුත්කළ ලිපියේ පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ලෙස ගෲප් කපිතාන් රංග පෙරේරා මහතා දක්වා තිබේ.

වසර 2019න් පසුව මෙරට ජාත්‍යන්තර තරග සහභාගිත්වය මුළුමනින්ම ඇණහිට ඇත්තේ ඉහත තත්ත්වයන් නිසාය.


අදහස් (0)

පාපැදි සම්මේලනයට සභාපතිවරයෙකු නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.