Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දැල්පන්දු නිලවරණයේදී ​දුලබ සිදුවීමක්

දැල්පන්දු නිලවරණයේදී ​දුලබ සිදුවීමක්

editorial - 2022 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මැයි 31 වැනිදා පෙරවරු 10ට ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණයට (2022-24) ඉදිරිපත් වූ කිසිදු නාමයෝජනාවකට එරෙහිව විරෝධතා ගොනු නොවීම කැපී පෙනේ.

විරෝධතා බාර ගැනීම ඊයේ (18) අවසන් විය. දැල්පන්දු සම්මේලනයේ මීට පෙර පැවැති නිලවරණ අවස්ථා ගණනාවකදීම නාමයෝජනාවලට එරෙහිව විරෝධතා  ගොන්නක් ඉදිරිපත් වීම සලකා බැලීමේදී මෙවර නිලවරණයේ එවැනි විරෝධතා ඉදිරිපත් නොවීම දුර්ලභ සිදුවීමකි.

කාන්තාවන් සහභාගි වන ක්‍රීඩා ඉසව්වක් ලෙස දැල්පන්දු ක්‍රීඩාවේ මෙරට නිල පරිපාලන ඒකකය ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ මීට පෙර පැවැති නිලවරණ අර්බුද උසාවිය දක්වා ඇදී ගියේය.

මෙවර දැල්පන්දු නිලවරණයේදී සභාපති ධුරයට ආසියානු දැල්පන්දු සම්මේලනයේ වත්මන් උපසභාපතිනියක් වන ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය ඇතුළුව සිවු දෙනකු නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.

එහිදී විශේෂත්වය වන්නේ වත්මන් සභාපතිනි රංජනී ජයකොඩි මහත්මිය ඇතුළු වත්මන් විධායක සභාවේ එක් නිලධාරිණියක් හැරෙන්නට සෙසු සියලු දෙනා මෙවර නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටීමයි. ඒ අනුව රංජනී ජයකොඩි මහත්මිය වසරක කාලයකට සීමා වෙමින් දැල්පන්දු සභාපතිධුරය අත්හැරීමට තීරණය කර තිබේ.

ක්ලැරිල් ඩෝසර්, පද්මා බැද්දේවෙල හා වජිරා පුෂ්පකුමාරි යන මහත්මීන් මෙවර නිලවරණයේදී සෙසු සභාපති අපේක්ෂිකාවෝ වෙති.

වින්ද්‍යා දයාරත්න, ශිරෝමි කුරුප්පු, බී.ඩී.සී. සුමිත්‍රා යන මහත්මීන් ප්‍රධාන ලේකම් ධුරයට නාමයෝජනා ඉදිරිපත් කර තිබේ. දැල්පන්දු සම්මේලනයේ නිලවරණයෙන් පත්කර ගන්නා විධායක සභාව මේ වනවිට තනතුරු පහකට පමණක් සීමාවී තිබේ.

ඒ සභාපති, භාණ්ඩාගාරික, ලේකම්, උපලේකම් හා උපභාණ්ඩාගාරික යන ධුර පමණි. විධායක සභාවට ඇතුළත් එකම උපසභාපතිධුරය පාසල් සංගමයට නිල බලයෙන් හිමිවේ. මෙතෙක් වසරකට පමණක් සීමාවී තිබූ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිල කාලය වසර දෙකක් දක්වා දීර්ඝ කර තිබේ.

පත්වන නව විධායක සභාවට මෙම වසරේදී පැවරෙන ප්‍රධානතම කාර්ය භාරය වන්නේ සිංගප්පූරුවේදී ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීමය. ආසියානු කුසලාන (2018) අවසන් වරට දිනා ගත්තේද ශ්‍රී ලංකාවයි.


අදහස් (0)

දැල්පන්දු නිලවරණයේදී ​දුලබ සිදුවීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.