
නාමල් පතිරගේ
හොංකොංහිදී අගෝස්තු 7 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන 14 වැනි ආසියානු කුසලාන දැල්පන්දු (නෙට්බෝල්) තරගාවලියට ශ්‍රී ලංකාවේ සූදානම ආරම්භ කරමින් සති අන්තයේදී පැවැති ජාතික දැල්පන්දු (මූලික) තේරීම් පරීක්ෂණයෙන් ක්‍රීඩිකාවන් 30 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතයක් නිර්දේෂ කිරීමට ජාතික දැල්පන්දු තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
කෙසේවූවත් ඒ සදහා සහභාගි වූ පළපුරුදු ෙජ්‍යෂ්ඨ ක්‍රීඩිකාවන් සියලු දෙනා පරීක්ෂණයෙන් අසමත් වීමෙන් එම ක්‍රීඩිකාවන් දැඩි ලෙස කණස්සල්ලට පත්ව සිටින බව වාර්තාවේ.ඒ අතර මෙම සිදුවීමෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයද කැළඹීමට පත්ව සිටින බවත් කෙසේවූවත් ජාතික සංචිතයේ මීළග තේරීම් පරීක්ෂණය සදහා ඔවුන්ට යළිත් අවස්ථාවක් සලසාදීමට සම්මේලනය තීරණය කර ඇතැයිද වාර්තාවේ.
පසුගිය සති අන්තයේ ටොරිංටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ පිටියේදී පැවැති ජාතික දැල්පන්දු සංචිතයේ තේරීම් සදහා ක්‍රීඩිකාවන් 130 දෙනකුට ආසන්න පිරිසක් සහභාගිවී තිබේ.එහිදී ඊට සහභාගි වූ පාසල් හා නවක ක්‍රීඩිකාවන් රැසක්ද සංචිතයට නිර්දේශ ලබා සිටියදී තමන්ට අත්වූ ඉරණම පිළිබදව එම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවෝ වඩාත් කණස්සල්ලට පත්ව සිටින බවත් පැවැසේ.
මෙසේ තේරීම් තරග පරීක්ෂණය අසමත් වූවන් මීළග දෙවැනි තේරිම් තරග පරීක්ෂණය සදහා කැඳවන ලෙස දැල්පන්දු සම්මේලනය ජාතික දැල්පන්දු තේරීම් කමිටුවෙන් ඉල්ලීමක් කිරිමට සැරසෙන බවද වාර්තාවේ.
සති අන්තයේදී පැවැති තේරිම් පරීක්ෂණයේදී ජාතික සංචිතයට තේරීමට අසමත් වූවන් අතර පසුගිය 2024 ආසියානු දැල්පන්දු තරගාවලියේ අනුශූරතාව හිමි කර ගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කීප දෙනකුද සිටින බව වාර්තාවේ.
ඒ අතර ඉකුත්දා කොළඹ පැවැති ප්‍රධානතම දැල්පන්දු තරගාවලියක දක්ෂතම ක්‍රීඩිකාවට හිමි දැල්පන්දු රැජින සම්මානය දිනා ගත් ක්‍රීඩිකාවක්ද මෙලෙස සති අන්තයේ පැවැති ජාතික තේරීම් තරග පරීක්ෂණය අසමත්ව සිටින බව වැඩිදුරටත් වාර්තාවේ.
ක්‍රීඩා අමාත්‍යාංශය පසුගිය ජනවාරි 22 වැනිදා ශ්‍රී ලංකා දැල්පන්දු පරිපාලනය නැවත දැල්පන්දු සම්මේලනයට පැවැරීමට පෙර ඔවුන් විසින් වත්මන් ජාතික දැල්පන්දු තේරීම් කමිටුව පත් කිරීමට කටයුතු කළේය.එහි සභාපතිනිය ලෙස පද්මා බැද්දේවෙල මහත්මිය කටයුතු කරයි.ඇය මීට පෙරත් එහි සහාපතිනිය ලෙස කටයුතු කළ අයෙකි.
කෙසේවූවත් එහි නව පත් කිරීම් සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් තිබෙන තත්වයක් තුළ ඔවුන් සති අන්‍තයේදී ජාතික දැල්පන්දු තේරීම් පරීක්ෂණ මෙහෙයවීම සදහා සහභාගි විය.
මේ අතර ජාතික දැල්පන්දු පුහුණුකරු ධූරයට සුදුස්සෙකු පත් කර ගැනිම සදහා ඇයැදුම්පත් කැදවීමටත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සේවය සදහා විදේශීය පුහුණු උපදේශකවරියක් කැදවීමටත් තීරණයවී තිබේ.
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ඉකුත් ජනවාරි 22 වැනිදා පැවැති නිලවරණයෙන් තේරී පත්වූ නව විධායක සභාව සභාපතිනී වජිරා නෙත්තිකුමාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පළමු වරට රැස් විය.
මීළග ආසියානු තරගාවලිය සදහා ශ්‍රී ලංකාවේ සූදානම මේ වන විටත් ප්‍රමාදවී තිබෙන බැවින් ඒ සදහා හැකි ඉක්මණින් සුදානම් වීමේ අවශ්‍යතාව නව දැල්පන්දු විධායක සභාවේ සාකච්ඡාවී තිබේ.
ඒ සදහා ඕනෑම දැල්පන්දු ක්‍රීඩිකාවකට සහභාගි විය හැකි බව දැල්පන්දු සම්මේලනය ප්‍රකාශ කර තිබුණි.
දැල්පන්දු සම්මේලනයේ නව විධායක සභා රැස්වීමේදී ගත් තීරණයන් පිළිබදව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනී වජිරා නෙත්තිකුමාර මහත්මිය ‘ලංකාදීප’ යට මෙසේ පැවැසුවාය.
"දැල්පන්දු සම්මේලනයේ කටයුතු මුල ඉඳලාම පටන් ගන්න වෙලා.ඒකට හේතුව පසු ගිය අවුරුදු කීපය පුරා එහි සැලසුම් නැති වැඩ පිළිවෙලයි.ඒ ගැන කතා කරලත් වැඩක් නෑ.විගණනයකටත් යන්න වෙයි.අපේ පළමු ඉලක්කය ආසියානු කුසලාන තරගාවලියයි.ඒ සදහා ඉක්මන් ක්‍රියාමාර්ග කීපයක් ගන්න අපි ක්‍රීඩා ඇමැතිවරයාගෙන් විශේෂ අවසරයක් ගන්නත් බලාපොරොත්තු වෙනවා."
මෙවර ආසියානු දැල්පන්දු තරගාවලිය ශ්‍රී ලංකාවට වඩාත් තීරණාත්මක වන්නේ එහි ශූරතාව හා අනුශූරතාව ලබන කණ්ඩායම් දෙක වසර 2027 සිඩ්නි ලෝක දැල්පන්දු කුසලාන තරගාවලියට ආසියානු කලාපයෙන් නිර්දේශ ලබා ගන්නා බැවිනි.ඒ සදහා ශ්‍රී ලංකාව අවම එළඹෙන ආසියානු දැල්පන්දු තරගාවලියේ අවසන් මහ තරගයට නිර්දේශ ලබා ගත යුතුව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.