Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික ශූරයාට අවස්ථාව අහිමි වෙයි

ජාතික ශූරයාට අවස්ථාව අහිමි වෙයි

editorial - 2022 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම හේතුවෙන් වත්මන් මේසපන්දු ජාතික ශූර සෙනුර සිල්වාට, පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවන මේසපන්දු කණ්ඩායම තෝරාගන්නා තේරීම් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී ඇත. අදාල තේරීම් තරගාවලිය ඊයේ සහ අද (29 සහ 30) ක්‍රීඩා අමාත්‍යංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. තේරීම් තරගයට සහභාගි නොවූ සෙනුර, අද (30) පැවැති ගණිතය ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන්නේය.

කොළඹ ආනන්ද විදුහලේ ඉගෙනුම ලබන සෙනුර, අවසන් වරට පැවැති ජාතික මේසපන්දු ශූරතාවලියේදී ශූරතා ද්විත්වයක් සහ අනු ශූරතාවක් දිනාගනිමින් පළමු වරට ජාතික ශූරයා බවට පත්විය. එය 2020 වසරට අදාල ජාතික මේසපන්දු තරගාවලිය වූ අතර ඊට සමගාමීව පැවැති ජාතික කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ ශූරයා බවට පත්වූයේද සෙනුරය. මේ වන විට ඔහු ජාතික ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවේ.

මෙම වසරේ ජනවාරි මාසයේදී නුගේගොඩ මේසපන්දු සංගමය සංවිධානය කළ ‘ආර්යා ප්ලස්’ අභියෝග සමස්ත ලංකා විවෘත මේසපන්දු තරගාවලියේ සහ මාර්තු මාසයේදී කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු සංගමය සංවිධානය කළ ‘මහීපාල හේරත්’ අභියෝග කුසලාන සමස්ත ලංකා විවෘත මේසපන්දු තරගාවලියේද දක්ෂතම ක්‍රීඩකයා ලෙස සෙනුර සම්මාන දිනාගත්තේය.

සෙනුර තේරීම් තරගාවලියට සහභාගි නොවීම සම්බන්ධයෙන් ලංකාදීප කළ විමසුමකදී ඔහුගේ දෙමාපියන් කියා සිටියේ අදාල තේරීම් තරගාවලිය සම්බන්ධයෙන් ඔවුන් දැනගත්තේ අවසන් මොහොතේදී බවය. ඒ වන විට සෙනුර විභාගයට පෙනී සිටිමින් සිටි බැවින් සංගමයේ ලේකම්වරයා අමතා තම දරුවාට සාධාරණයක් ඉෂ්ට කරදෙන ලෙස පැවසුවද, ඊට සාර්ථක පිළිතුරුක් නොලැබුණ බවද එහිදී සෙනුරගේ මව්පියෝ කියා සිටියහ.

“ට්‍රයල් එක ගැන දැනුවත් කරන්න ළමයින්ට ඊ-මේල් එකක් දැම්ම කියලා ලේකම්වරයා කියනවා. අපේ ළමයා මේ පාර ඕලෙවල් ලියනවා. ඉතින් එයාට පුලුවන්ද මේල් චෙක් කර කර ඉන්න. ට්‍රයල් එකට සහභාගි වුණ අතින් ක්‍රීඩකයෝ සේරම අවුරුදු 18 ට වැඩි අය. ඒත් අපේ ළමයාට තවමට තවම අවුරුදු 16 යි. එයා ඉන්නෙ අපි යටතේ. දෙමාපියො විදියට අපි තමයි එයා ගැන තීරණ ගන්නෙ. ඉතින් ලේකම්වරයාට තිබුණා ට්‍රයල් එක ගැන අපිව හරි අඩුම තරමේ ලමයගෙ ඉස්කොලෙ හරි දැනුවත් කරන්න.” යැයි සෙනුරගේ මව වන හිටපු මේසපන්දු ජාතික ශූරීයක වන දීපිකා රොද්‍රගූ මහත්මිය කියා සිටියාය.

“දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියෙදිත් වුණේ මේකමයි. අපේ ළමයා ජාතික ශූරතාවයි, ජාතික කනිෂ්ඨ ශූරතාවයි දෙකම දිනලා තියෙද්දිත් විභාගය පෙනි පෙනී එයලා (මේසපන්දු සංගමය) කිව්වා ට්‍රයල් එකක් ගහන්න එන්න කියලා. ට්‍රයල් එක ගහලා විතරක් මදි තේරුණොත් දිගටම පුහුණුවීම්වලට එන්න ඕන කියලත් එයාල එවපු ලියුමෙ තිබුණා. එයාලා එක්ක කතා කළාට විසඳුමක් ලැබුණෙ නෑ. ඉතින් ඕලෙවල් අත ලඟ තියාගෙන ට්‍රයල් ගහන්නයි, දිගටම පැක්ටිස් යවන්නයි බැරි නිසා අපි ළමයව යැවුවේ නෑ.” යැයි සෙනුරගේ පියා වන හිටපු ජාතික මේසපන්දු ශූර ඉන්දික ප්‍රසාද් මහතා පැවසීය.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ලේකම් රීසා ලතීෆ් මහතා සම්බන්ධකර ගැනීමට ලංකාදීප කිහිපවරක්ම උත්සාහ කළද, ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැවීම හේතුවෙන් එම උත්සාහයන් අසාර්ථක විය.


අදහස් (0)

ජාතික ශූරයාට අවස්ථාව අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.