Last Update  :  2026-02-26 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගුවන් හමුදා පාපැදි සවාරිය වාර්තාගත සහභාගිත්වයකට

ගුවන් හමුදා පාපැදි සවාරිය වාර්තාගත සහභාගිත්වයකට

editorial - 2026 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය සංවත්සරය වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන ගුවන් හමුදා පාපැදි සවාරිය හෙට (27) පෙරවරු 8.30 ට මීගමුවෙන් ගමන් අරඹයි.

දිවයිනේ ප්‍රමුඛතම රේසින් පාපැදි තරගාවලියක් ලෙස එය අඛන්ඩව 27 වැනි වතාවටත් සංවිධානය කෙරේ.

දින තුනක් පුරා කිලෝමීටර 409.1 ක් දක්වා ගමන් කරන මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය තලංගම අකුරේගොඩ ආරක්ෂක හමුදා මූලස්ථානය ඉදිරිපිටින් අවසන්වීමට නියමිතව ඇත්තේ ඉරිදා (1) පස්වරුවේදීය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ බලපත්‍රලාභී ක්‍රීඩකයන් හා වයස 23 න් පහළ කාන්ඩයේ ක්‍රීඩකයන්ට මෙවරත් සවාරියට සහභාගි  විය හැකිය.

තරග සංවිධායකයන් ප්‍රකාශ කරන පරිදි මෙවර පාපැදි සවාරියට තරගකරුවෝ 230 දෙනෙකුට වැඩි පිරිසක් ඇයැදුම් කර තිබේ.එය පාපැදි සවාරියක් (එක් දිනකට වැඩි තරගයක්) සදහා නිර්දේශ කෙරෙන තරගකරුවන් ගණන අභිබවා යන්නකි.ජාත්‍යන්තර පාපැදි තරග නීති රීති වලට අනුකූලව එක් දිනකට වැඩි පාපැදි තරගයක් සදහා සහභාගි කර ගන්නා උපරිම තරගකරුවන් ගණන 176 කි.

මෙවර සමස්ත පාපැදි සවාරියේ ජයග්‍රාහකයාට ප්‍රදානය කෙරෙන ත්‍යාග මුදල රුපියල් ලක්ෂ පහකි.දෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂ තුනක්ද හා තෙවැනි ස්ථානයට රුපියල් 150000 ක මුදලක්ද ප්‍රදානය කෙරේ.

එහිදී 16 වැනි ස්ථානය දක්වා රුපියල් 7500 දක්වා සමස්ත තරගයේ තවත් තෑගි මුදල් රැසකි.ඒ හැරෙන්නට වේගවත්ම  (ස්ප්‍රින්ට්) ක්‍රීඩකයාට රුපියල් 50000 ක්ද, අදියර තරග ජයග්‍රාකයන්ට රුපියල් 75000 සිට  ත්‍යාග මුදලක්ද, කණ්ඩායම් ශූරතාව සදහා රුපියල් ලක්ෂ තුනක්ද සමස්ත තරගයේ වයස 23 න් පහළ කාන්ඩයේ පළමුව තරගය නිමා කරන තරගකරුට රුපියල් 60000 ක්ද ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ත ත්‍යාග මුදල රුපියල් මිලියන දෙකකට වැඩිය. ඒ හැරෙන්නට තරගකරුවන් හා තරගකාරියන්ට හා කණ්ඩායම් කළමනාකරුවන් සදහා නවාතැන් ගෙවීම්ද ලබාදේ.

මේ අතර මෙවරත් සවාරියට කාන්තා ඉසව්වක් ඇතුළත් වන අතර කාන්තා තරගය මීරිගම සිට තලංගම අකුරේගොඩ දක්වා (කිලෝමීටර 79.8) පැවැත්වේ.එහි ජයග්‍රාහිකාවට රුපියල් 150000 ක මුදල් ත්‍යාගයක් ප්‍රදානය කෙරේ.

ඒ හැරෙන්නට 10 වැනි ස්ථානය දක්වා රුපියල් 20000 ක් දක්වා තවත් එහි ත්‍යාග රැසකි.එහි කණ්ඩායම් ශූරතාව සදහා රුපියල් ලක්ෂයක් ප්‍රදානය කෙරේ.

 

ගුවන් හමුදා පාපැදි සවාරිය පැවැත්වෙන ආකාරය

★ පෙබරවාරි 27 - (පළමු අදියර මීගමුව සිට පුත්තලම දක්වා - කිලෝමීටර 127.5)

ගමන් මාරගය (ලු‍හුඬින්) : - මීගමුව - කොච්චිකඩේ - දංකොටුව - මාකදුර - පන්නල - උඩුබද්දාව - මාදම්පේ - හලාවත - පුත්තලම  - ආරච්ච්කට්ටුව -  මුන්දලම - පලාවිය  හරහා පුත්තලම වෙරළ උද්‍යානය දක්වා.

පෙබරවාරි 28 (දෙවැනි අදියර පුත්තලම සිට දඹුල්ල දක්වා - කිලෝමීටර 139.9)

ගමන් මාර්ගය : - පුත්තලම වෙරළ උයන - විල්ලු‍ව - කරුවලගස්වැව - 27 කණුව -  සාලියවැව - නොච්චියාගම  - තලාව - පන්ඩුලගම - අනුරාධපුරය - තිරප්පනේ - මඩාටුගම හරහා දඹුල්ල නගරය දක්වා

මාර්තු 1 : - ( තෙවැනි - අවසන් අදියර  - දඹුල්ල සිට තලංගම අකුරේගොඩ ආරක්ෂක හමුදා මූලස්ථානය දක්වා - කිලෝමීටර 139.9) ගමන් මාර්ගය : -දඹුල්ල  නගරය - මොරගොල්ල - කොස්කැලේ - මැල්සිරිපුර - ගොකරැල්ල - ඉබ්බාගමුව  - බඩගමුව - කුරුණෑගල  - නාව්න්න - පොතුහැර - පොල්ගවෙල  - අලව්ව - පස් යාල -  රතුපස්වල - වැලිවේරිය  - දෙල්ගොඩ - මල්වාන - කඩුවෙල - අකුරේගොඩ ආරක්ෂක හමුදා මූලස්ථානය දක්වා)

මාර්තු 1 : - කාන්තා තරගයේ ගමන් මාර්ගය - මීරිගම සිට අකුරේගොඩ ආරක්ෂක හමුදා මූලස්ථානය දක්වා)

ගමන් මාර්ගය  : - මීරිගම - ලෝලු‍වාගොඩ -නාඅල්ල - කොටදෙනියාව - දිවුලපිටිය - නයිවල - මැදගම්පිටිය - උඩුගම්පොල  - ගම්පහ  - රතුපස්වල  - දෙල්ගොඩ - මල්වාන - කඩුවෙල - මාලාබේ  හරහා තලංගම අකුරේගොඩ ආරක්ෂක හමුදා මූලස්ථානය දක්වා.

 


අදහස් (0)

ගුවන් හමුදා පාපැදි සවාරිය වාර්තාගත සහභාගිත්වයකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.