විරෝධතා විමර්ශනයේ තීන්දු ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවද ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට (2018-22) තරග වදින අපේක්ෂකයන්ට නිලවරණ කමිටුව මුණගැසී අදහස් පළ කිරීමේ තවත් අවස්ථාවක් ලබාදීමට තීරණය වී තිබේ. ඒ අනුව ඔවුන්ට අද (17 වැනිදා) පස්වරු 3.00 ට නිලවරණ කමිටුව මුණගැසිය හැකි බව නිලවරණ කමිටුවතරග වදින අපේක්ෂකයන්ට ලිඛිතව දැනුම් දී තිබේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ආචාර්ය ආර්.එම්.කේ. රත්නායක මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය මෙහෙයවන කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්වරුන් දෙදෙනකු වන එස්. විරිතමුල්ල හා එස්. ලියනගම යන මහත්වරුද එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
මෙම 23 වැනිදා පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් පිරිසකට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විරෝධතා විමර්ශනයේ තීරණ අද පෙරවරු 9.30ට ජාතික ඔලිම්පික් කමිටුවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අපේක්ෂකයන් කීප දෙනකුටත් ක්‍රීඩකයන්ගේ කමිටුවට හා ජාතික ක්‍රීඩා සංගම් කීපයක් සඳහාත් විරෝධය පළ කරමින් විරෝධතා ගොනුකර තිබුණි. අද පස්වරුවේදීම දෙපාර්ශ්වයේ අපේක්ෂකයන් මුණගැසීමටද නිලවරණ කමිටුව තීරණය කර ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.
මෙම 23 වැනිදා පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය සංශෝධිත නව ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාවට අනුව පැවැත්වීමට උනන්දු වන ලෙස අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ජාතික ඔලිම්පික් කමිටුවට දැනුම්දී තිබේ. ඒ සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගී නැතැයි ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටින නමුත් රොහාන් ප්‍රනාන්දු පාර්ශ්වයේ ප්‍රකාශකයකු ලංකාදීපයට පැවසුවේ මෙතෙක් නිලවරණය සම්බන්යෙන් පැනනැගුණු කරුණු කාරණා දෙස බැලීමේදී එය සාධාරණව පැවැත්වේ ද යන්න පිළිබඳව තමන්ට බලවත් සැකයක් ඇතිවී තිබෙන බවයි.
ඒ සම්බන්ධයෙන් තමන්ට දැන් කළ හැකි ඉතිරිව තිබෙන එකම දෙය ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම පමණක් බව පැවසූ ඔහු කෙසේ වෙතත් වසර ගණනාවක් පුරා තනතුරු දරමින් ඔලිම්පික් කමිටුවේ තවදුරටත් සිය ආධිපත්‍යය පැතිරවීමට උත්සාහ ගනිමින් සිටින ඇතැම් නිලධාරීන්ට එරෙහිව තමන් ආරම්භ කළ සටන ජයග්‍රහණයෙන්ම අවසන් කරන බවත් වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.