සිංගප්පූරුවේදී රටවල් 10 ක සහභාගිත්වයෙන් සැප්තැම්බර් 7 වැනිදා ආරම්භ වන නව වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියට පිටත්වීමට ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම සූදානම් වෙමින් සිටින අතර එම සංචාරයට සහභාගිවීම සඳහා නිලධාරිනියන් අතර පොරයක් හටගෙන ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ලබන සැප්තැම්බර් 4 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට සූදානම්ව සිටියි. එහි විශේෂත්වය වන්නේ 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමග සිංගප්පූරු තරග සංචාරයට පිටත්වීම සඳහා මේ වන විටත් නිලධාරිනියන් 15 කට ආසන්න ගණනක් සූදානමින් පසුවීමය.
කෙසේ වුවත් දැල්පන්දු අතුරු කමිටුවේ නිලධාරි මණ්ඩලයම සිංගප්පූරු තරග සංචාරයට සහභාගිවීමට උනන්දුවී සිටියත් ජාතික දැල්පන්දු පුහුණුකාරිනි දීප්ති අල්විස් මහත්මියට එම අවස්ථාව හිමි නොවේ.
ජාතික දැල්පන්දු සංචිතයේ සේවයෙන් ඇය පසුගිය ජුනි 10 වැනිදා සිට තාවකාලිකව ඉවත් කර තිබෙන අතර කෙසේවුවත් ඇය ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරයෙන් මෙතෙක් ඉවත් කර නොමැති බැවින් සිංගප්පූරු සංචාරයට ඇයට අවස්ථාවක් ලබාදීම දැල්පන්දු අතුරු කමිටුවේ යුතුකමක්ව තිබූ බව ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ හිටපු සභාපතිනියක් ‘ලංකාදීප’ යට පැවසුවාය.
මේ අතර මෙවර ආසියානු දැල්පන්දු ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂත්වය වන්නේ එහි ප්‍රධාන පුහුණුකාරිනියක් ඇතුළත් නොවීමයි. ඒ වෙනුවට විශේෂඥ පුහුණුකාරිනිය ලෙස යසා රාමචන්ද්‍ර මහත්මියත් තාක්ෂණික විශේෂඥවරියක ලෙස හයිසින්ත් විජේසිංහ මහත්මියත් පත් කර තිබේ.
කණ්ඩායමේ කළමනාකාරිනියගේ වගකීම්ද රාමචන්ද්‍ර මහත්මියට පවරා තිබේ. එහෙත් තාක්ෂණික විශේෂඥ පුහුණුකාරිනිය ලෙස කටයුතු කරන හයිසින්ත් විජේසිංහ මහත්මිය නිල ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර නොමැති බැවින් ඇයට සිංගප්පූරුවේ දී නවාතැන් පහසුකම් වෙනමම ලබාදීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.
එසේ වුවත් දීප්ති අල්විස් මහත්මියගේ ඉවත්වීමෙන් පසු එතැන් පටන් ජාතික දැල්පන්දු සංචිතයේ පුහුණුවීම් මෙහෙයවන විජේසිංහ මහත්මිය සිංගප්පූරුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඈත් කර තැබීම පිළිබඳව ක්‍රීඩිකාවන් විරෝධය දක්වා ඇතැයිද දැල්පන්දු ආරංචිමාර්ග සඳහන් කරයි.
එසේම නිල ශ්‍රී ලංකා කණ්ඩායමට ඇය ඇතුළත් නොවන බැවින් තරග අවස්ථාවලදී ඇයට ශ්‍රී ලංකා කණ්ඩායම සමග එකට අසුන් ගැනීමේ අවස්ථාවද අහිමිව තිබේ.
මේ වනවිට ආසියානු දැල්පන්දු ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි කර දැල්පන්දු විනිසුරුවරිය ලෙස අනුෂ්කා තලගලආරච්චි මහත්මිය නම් කර තිබේ. එහෙත් එම අවස්ථාව හිමිවිය යුතුව තිබුණේ බුද්ධික පෙරේරා මහතාට බව දැන ගන්නට ඇත.
ආසියානු දැල්පන්දු සංගමය ඒ සඳහා කොළඹ දී පැවැත්වූ ලිඛිත පරීක්ෂණය සඳහා ශිරන්ති රාජපක්ෂ හා දිප්ති ද සිල්වා යන මහත්ම මහත්මීන් ද කැඳවා තිබුණි. එහිදී ලිඛිත පරීක්ෂණයේ ඉහළම ලකුණු ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා අතර පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් වැඩි ලකුණු ලබා ඇත්තේ බුද්ධික පෙරේරා මහතා බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් තමන් කරුණු සොයා බලන බවත් දැල්පන්දු සංගමයේ හිටපු සභාපතිනිය වැඩිදුරටත් පැවසුවාය. තත්ත්වය මෙසේ තිබියදී දැල්පන්දු අතුරු කමිටුවේ සභාපතිනි ලක්ෂමි වික්ටෝරියා මහත්මිය ඇතුළු එහි නිලධාරිනියන් බහුතරයක් මාධ්‍යයෙන් ඈත්වී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා ලබා සිටියි.
ශ්‍රී ලංකාව අවසන් වරට 2009 දී ආසියානු දැල්පන්දු ශූරතාවලිය ජය ගෙන තිබෙන අතර ඔවුන් සිව් වරක්ම ආසියානු ශූරතාව දිනාගෙන තිබුණත් පසුගිය තරගාවලියේ දී (2012) එක ලකුණකින් පරාජයෙන් ඔවුන්ට අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදු විය.
නව වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියට සහභාගි වන රටවල් :
”ඒ” කාණ්ඩය
සිංගප්පූරුව, හොංකොං, ඉන්දියාව, ජපානය හා වියට්නාමය.
”බී” කාණ්ඩය
ශ්‍රී ලංකාව, මලයාසියාව, බෲනායි, චින තායිපේ හා මියන්මාරය.
ශ්‍රී ලංකාව තරගාවලියට සහභාගි වන ආකාරය
සැප්තැම්බර් 7 චීන.තායිපේට එරෙහිව
සැප්තැම්බර් 9 මියන්මාරයට එරෙහිව
සැප්තැම්බර් 10 බෲනායි රාජ්‍යයට එරෙහිව
සැප්තැම්බර් 11 මලයාසියාවට එරෙහිව
සැප්තැම්බර් 13 අවසන් පූර්ව තරග
සැප්තැම්බර් 14 තෙවැනි ස්ථානය තේරීමේ තරග හා අවසන් මහ තරගය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.