
ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගෙන් සිඩ්නි ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගියේ විරාට් කෝලි සහ රෝහිත් ෂර්මා දෙදෙනාම එහි ක්‍රීඩා කරන අවසන් අවස්ථාව එය විය හැකි බව ඔව්හු දැනසිටි බැවිනි. තමන් ක්‍රීඩා කරන ආකාරය බැලීමට ආ ඉන්දීය නරඹන්නන්ට උපරිම සාධාරණය ඉටුකළ රෝහිත් ෂර්මා (නොදැවී 121) සහ විරාට් කෝලි (නොදැවී 74) තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී කඩුලු 9 ක ජයග්‍රහණයක් කරා ඉන්දිය කණ්ඩායම කැඳවාගෙන ගියේය.
තරගාවලිය 2-1 ක් ලෙසින් පරාජය වූ නමුත් රෝහිත් - කෝලි දෙදෙනාගේ විශිෂ්ට පිතිහරඹය නිසා ඕස්ට්‍රේලියානුවන් හමුවේ ලැබීමට ගිය 3-0 ක සම්පූර්ණ සුද්දයකින් ඉන්දියානුවෝ ගැලවුණහ.
ඇඩිලේඩ්හිදී ලබාගත් සටන්කාමී ලකුණු 73 පසුබිමේ තබාගත් හිටපු නායක රෝහිත් ෂර්මා, පන්දු 105 කින් ඔහුගේ 33 වන එක්දින ශතකය ලබා ගත්තේය. එය ඕස්ට්‍රේලියානුවන් හමුවේ රෝහිත් ලබාගත් නවවන එක්දින ශතකය විය. තරගාවලියේ පළමු එක්දින තරග දෙක පැවැති පර්ත් සහ ඇඩිලේඩ් නුවරවලදී ලකුණු නොලබා දැවී ගිය විරාට් කෝලි, නරඹන්නන් 40,587 දෙනෙකුගෙන් පිරුණු ක්‍රීඩාංගණයකදී නොදැවී ලකුණු 74 ක් ලබා ගනිමින් තරගය අවසන් වන තුරුම පිටියේ සිටියේය.
ලෝක ක්‍රිකට් වංශකතාවේ නොමැකෙන සටහන් තැබූ මේ පිතිකරුවන් දෙදෙනාගේ සෑම ක්‍රියාවකටම ක්‍රීඩාංගණයේ සිටි සියලු දෙනාම පාහේ ඔල්වරසන් දුන්හ.
ෂර්මා සහ කෝලි එක්ව එක්දින ලකුණු 26,000 කට වඩා ලබා තිබේ. සචින් තෙන්ඩුල්කාර් සහ රාහුල් ද්‍රාවිඩ් දෙදෙනාට පසුව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී පිතිකරු යුගළය තමන් බව යළිත් වතාවක් සනාථ කළ රෝහිත් සහ කෝලි දෙදෙනා අද තරගයේදීත් පන්දු 170 කදී ලකුණු 168 ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැංවූහ.
පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියාව වරෙක කඩුලු 3 කට ලකුණු 183 ක් ලබා සිටියේය. එහෙත් හර්ෂිත් රානාගේ (39/4) පන්දු යැවීම හමුවේ ඕස්ට්‍රේලියානුවන්ගේ අවසන් කඩුලු 7 ම ලකුණු 53 කට ඇද වැටිණ. රානා කඩුලු 4 ක් දවාගනිද්දී අක්ෂර් පතෙල් (6-0-18-1) සාර්ථක පන්දු යැවීමක නිරත විය.
වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ සන්දර්භය අනුව, ලකුණු 237 ක ඉලක්කයක් යනු කජු මදයක් බව පෙන්නුම් කළ රෝහිත් ෂර්මා සහ ෂුබ්මන් ගිල් එක්ව පන්දු 62 කින් ලකුණු 62 ක් ලබාගත්හ. එතැන් සිට තිබුණේ රෝහිත් - කෝලි සංදර්ශනයයි.
රෝහිත් ෂර්මාගේ පිතිහරඹයේ සුවිශේෂී පහර දෙකක් වූයේ ඇඩම් සම්පා හමුවේ ගැසූ හයේ පහර දෙකයි. එකක් එක්ස්ට්‍රා කවර්ස් කලාපයට ඉහළින් ගැසූ ‘ඉන්සයිඩ්-අවුට්’ පහරකි. අනෙක මිඩ් විකට් කලාපයට ඉහළින් ගැසූ ‘ස්ලොග් ස්වීප්’ පහරකි.
තරගාවලිය ජයගෙන සිටියද ජොෂ් හේසල්වුඩ් හෝ මිචෙල් ස්ටාර්ක් විවේක ගැන්වීමට ඕස්ට්‍රේලියානුවන් අකමැති විය. ඔවුන් දෙදෙනා අතර ඕවර 11 ක් බෙදී ගිය නමුත් එයින් අත්වූ ප්‍රයෝජනයක් නැත. රෝහිත් සහ කෝලි දෙදෙනා ඕවර 11.3 ක් ඉතිරිව තිබියදී තරගය අහවර කළහ.
ඕස්ට්‍රේලියාව - ඕවර 46.4 කදී සියලු දෙන දැවී 236 යි
(මිචෙල් මාෂ් 41, ට්‍රැවිස් හෙඩ් 29, මැතිව් ෂෝට් 30, මැතිව් රැන්ෂෝ 56, ඇලෙක්ස් කේරි 24, කූපර් කොනලි 23, නේතන් එළිස් 16, හර්ෂිත් රානා 39/4, වොෂිංටන් සුන්දර් 44/2)
ඉන්දියාව - ඕවර 38.3 කදී කඩුලු 1 ට 237 යි
(රෝහිත් ෂර්මා නොදැවී 121, ෂුබ්මන් ගිල් 24, විරාට් කෝලි නොදැවී 74)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.