
ඩුබායි නුවර අයි.සී.සී. විද්‍යායතන ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය 19 න් පහළ කණ්ඩායමට එරෙහිව ලකුණු 191 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට පාකිස්තාන 19 න් පහළ කණ්ඩායම අද (21 වැනිදා) සමත් විය. මෙය යොවුන් ආසියානු කුසලාන ඉතිහාසයේ ලකුණු පරතරය අනුව ගත්කළ කණ්ඩායමක් ලැබූ දෙවැනි ඉහළම ජයද විය.
ඉන්දියාව සහ පාකිස්තානය යොවුන් ආසියානු කුසලාන අවසන් මහ තරගයකදී මුහුණට මුහුණ හමුවූ තෙවැනි අවස්ථාව මෙය වූ අතර 2012 වසරේදී ඉන්දියාව සමග සම ශූරතාව දිනාගැනීමෙන් අනතුරුව පාකිස්තානය යොවුන් ආසියානු කුසලානයක් දිනාගත් පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 348 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඉන්දීය යොවුන් පිතිකරුවන්ට අලී රාසා ප්‍රමුඛ පාකිස්තාන යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 26.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 156 ක් පමණි. ඉන්දීය යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අංක 10 පිතිකරු දීපේෂ් දේවේන්ද්‍රන් පන්දු 16 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 36 ක් රැස්කළේය.
වේගවත් අරම්භයක් ලබාගත් වයිබව් සූර්යවංෂි පන්දු 10 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 26 ක් රැස්කළද, ඔහුට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට පාකිස්තාන යොවුන් පන්දු යවන්නෝ ඉඩක් නොදුන්හ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ අලී රාසා ලකුණු 42 කට කඩුලු 4 ක් බිඳහෙළීමට සමත් වූ අතර ඉන්දීය යොවුන් ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් හුසයිෆා හසන්, අබ්දුල් සුභාන් සහ මොහොමඩ් සයාම් කඩුලු 2 බැගින් දවාගත්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන යොවුන් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 347 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු සමීර් මින්හස් පන්දු 113 කින් ලකුණු 172 ක් රැස්කළේ හයේ පහර 9 ක් සහ හතරේ පහර 17 ක් සමගිනි. මෙම තරගාවලියේදී ඔහු ලකුණු 150 සීමාව ඉක්මවා ගිය දෙවැනි අවස්ථාව ලෙසද මෙය සටහන් වූ අතර මින් පෙර ඔහු මැලේසියාවට එරෙහිවද නොදැවී ලකුණු 177 ක් රැස්කළේය.
උස්මාන් ඛාන් (35) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 79 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මින්හස්, ඉන් නොනැවතී අහමඩ් හුසේන් (56) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 125 කදී ලකුණු 137 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් පාකිස්තාන යොවුන් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 72 කදී වාර්තා වූ හුසේන්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.
ඉන්දීය යොවුන් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 3 ක් දවාගැනීමට දීපේෂ් දේවේන්ද්‍රන් සමත් වුවද, ඔහු යැවූ ඕවර 10 තුළදී ලකුණු 83 ක් රැස්කිරීමට පාකිස්තාන යොවුන් පිතිකරුවෝ සමත් වූහ. එහිදී ඛිලාන් පටේල් සහ හෙනිල් පටේල්ද කඩුලු 2 බැගින් දවාගත් නමුත් ඔවුන් දෙදෙනාද පාකිස්තාන යොවුන් පිතිකරුවන්ගේ දැඩි පහර කෑමකට ලක්වූහ.
පාකිස්තාන 19 න් පහළ පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 347
(හම්සා සහූර් 18, සමීර් මින්හස් 172, උස්මාන් ඛාන් 35, අහමඩ් හුසේන් 56, ෆර්හාන් යූසෆ් 19, දීපේෂ් දේවේන්ද්‍රන් 83/3, ඛිලාන් පටේල් 44/2, හෙනිල් පටේල් 62/2)
ඉන්දීය 19 න් පහළ පිල - ඕවර 26.2 කදී සියලු දෙනා දැවී 156
(වයිබව් සූර්යවංෂි 26, ඒරන් ජෝජ් 16, ඛිලාන් පටේල් 19, දීපේෂ් දේවේන්ද්‍රන් 36, අලී රාසා 42/4, හුසයිෆා හසන් 12/2, අබ්දුල් සුභාන් 29/2, මොහොමඩ් සයාම් 38/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.