Last Update  :  2025-08-28 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව ODI Cricket කාගේත් තේරීම ශ්‍රී ලංකාවයි
සිම්බාබ්වේ සංචාරය

කාගේත් තේරීම ශ්‍රී ලංකාවයි

editorial - 2025 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග දෙකකින් යුත් එක්දින තරගාවලිය හෙට (29 වැනිදා) ආරම්භ වන්නේ ජයග්‍රහණය සඳහා කාගේත් තේරීම ශ්‍රී ලංකාව බවට පත්ව තිබියදීය. අන්තර්ජාතික එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී කණ්ඩායම් දෙක අතර පවතින පරතරය මෙම විශ්වාසයට ඇති එකම හේතුව නොවේ. එක්දින තරග ඉතිහාසයේදී දෙරට අතර පවතින වාර්තාව ඊට තවත් හේතුවකි. 

1992 ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 64 ක් පැවැත්වී ඇතත් ඒවායින් තරග 49 ක ජය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමටය. මෙම ජයග්‍රහණ වලින් වැඩි හරියක් වාර්තා වී ඇත්තේද සිම්බාබ්වේ කණ්ඩායමේ සිටි දැවැන්තයන් වූ ඩේවිඩ් හවුටන්, ෆ්ලවර් සොහොයුරන් මෙන්ම හීත් ස්ටීක් සහ ඇලිස්ටෙයාර් කැම්බල් වැනි ක්‍රීඩකයන් සිටියදීය. 

එදා සිටි දැවැන්තයන්ට අලගු තියන්නට වත් වත්මන් සිම්බාබ්වේ එක්දින කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන්ට නොහැකි බව බැල බැල්මටම කිව හැකිය. අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ ශ්‍රී ලංකා කණ්ඩායම 4 වැනි ස්ථානයේ සිටියදී සිම්බාබ්වේ කණ්ඩායම 11 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇත්තේ එවන් හේතු නිසාය. 

ඊටත් වඩා තීරණාත්මක සාධකය වන්නේ සිම්බාබ්වේ කණ්ඩායම මාස හයකින් පමණ එක්දින තරගයකට සහභාගි නොවීමයි. සිම්බාබ්වේ පිල අවසන් වරට එක්දින තරගාවලියකට සහභාගි වූයේ පසුගිය පෙබරවාරියේදී අයර්ලන්ත පිලට එරෙහිවය. 

ඉදින් හෙට තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙතොත්, එක්දින තරග 50 කදී ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූ තුන්වැනි රට බවට සිම්බාබ්වේ පිල පත්වනු ඇත. එක්දින තරග 50 කදී ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූ අනෙක් රටවල් දෙක වන්නේ ඉන්දියාව සහ පාකිස්තානයයි. 

සිම්බාබ්වේ පිලට (තරග 64) සාපේක්‍ෂව ඉන්දියාව (තරග 171) සහ පාකිස්තානය (තරග 157) හමුවේ වැඩි තරග සංඛ්‍යාවකට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී තිබේ. එබැවින් ඉන්දියාව සහ පාකිස්තානයට එරෙහිව එක්දින තරග 59 ක් බැගින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ. 

කෙසේ වෙතත් අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ තවදුරටත් සිව්වැනි ස්ථානයේ රැඳී සිටීමට නම් ශ්‍රී ලංකාව එක්දින තරග දෙකම ජයග්‍රහණය කළ යුතුව තිබේ. ඊට හේතුව කණ්ඩායම් දෙක අතර පවතින පරතරයයි. 

 


අදහස් (0)

කාගේත් තේරීම ශ්‍රී ලංකාවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.