Last Update  :  2024-10-07 23:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව NZ IN SL Test Series 2024 නවසීලන්තය අගාධයේ - ප්‍රභාත් තවත් වාර්තාවක් අබියස
ගාල්ල ටෙස්ට් තරගය - 2

නවසීලන්තය අගාධයේ - ප්‍රභාත් තවත් වාර්තාවක් අබියස

editorial - 2024 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින වසර 41 ක ටෙස්ට් ඉතිහාසයේදී අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී ගිය නවසීලන්තය අගාධයේ පතුළටම ඇද වැටුණේය. ලකුණු 88 කට දැවී යාම හේතුවෙන් ලකුණු 514 කින් පසුපසට වැටුණු නවසීලන්තය, තරගයේ තුන්වැනි දිනය වන අද (28 වැනිදා) සවස මන්දාලෝකය හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විටත් සිය දෙවැනි ඉනිමේදී ලකුණු 199 ක් ඇතුළත කඩුලු 5 ක් අහිමි කරගෙන සිටියේය. 

නවසීලන්ත කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් තවත් ලකුණු 315 ක් ලබාගත යුතුවන නමුත් ඒ වෙනුවෙන් ඔවුන් සතුව ඇත්තේ කඩුලු 5 ක් පමණි. නම්දැරූ පිතිකරු ලයිස්තුවේ අවසන් සාමජිකයන් දෙදෙනා වන ටොම් බ්ලන්ඩ්ල් (නොදැවී 47) සහ ග්ලෙන් පිලිප්ස් (නොදැවී 32) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවාගෙන සිටිති. තරගය පස්වැනි දිනයට යන්නේ මේ දෙදෙනාගේ සම්බන්ධතාවේ සාර්ථකත්වය මතය. 

මේ වන විට ටෙස්ට් තරග 16 කදී කඩුලු 95 ක් දවාගෙන සිටින ප්‍රභාත් ජයසූරියට තම 100 වැනි කඩුල්ල සඳහා අවශ්‍ය වන්නේ කඩුලු 5 කි. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරග 20 කට අඩුවෙන් කඩුලු 100 ක් දවාගත් පන්දු යවන්නන් 12 දෙනෙක් ඇතත් ඔවුන් අතර කිසිදු ශ්‍රී ලාංකිකයකු  නැත. අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 100 ක් දවාගෙන ඇත්තේ වසර 128 කට ඉහතදී තරග 16 කින් කඩුලු 100 ක් දවාගත් එංගලන්තයේ ජෝර්ජ් ලෝමෑන්ය. 

ලකුණු 514 ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ නවසීලන්තය වෙනුවෙන් කේන් විලියම්සන් (46) සහ ඩෙවොන් කොන්වේ (61) එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 97 ක සම්බන්ධතාවක් පැවැත්වූ නමුත් දිනේෂ් චන්දිමාල්ගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමකින් ඩෙවොන් කොන්වේ දැවීයාමෙන් එම සම්බන්ධතාව නිමා විය. එතැන් සිට ලකුණු 24 ක් ඇතුළත ඉදිරිපෙළ පිතිකරුවෝ සිව් දෙනෙක් දැවී ගියහ. 

ඉතාමත් කළාතුරෙකින් දැකගත හැකි පන්දුවකින් රචින් රවීන්ද්‍රව දවාගත් නිෂාන් පීරිස් දෙවැනි ඉනිමේදීත් තීරණාත්මක කඩුල්ලක් ශ්‍රී ලංකා පිලට ගෙනැවිත් දුන්නේය. ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ඉතාමත් ඉහළ තත්ත්වයක පැවැති අතර පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල් මෙන්ම අතිරේක ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්ද කණ්ඩායම වෙනුවෙන් මහඟු මෙහෙවරක් කරමින් සිටිති. 

දීප්තිමත් හිරුරැස් වැටී තිබියදී, පෙරවරු 10.00 ට තරගය ආරම්භ වන විටත්, ඊයේ දිනයේ කඩුලු 2 ක් දැවී ලබාගත් ලකුණු 22 නවසීලන්ත ලකුණු පුවරුවේ සටහන් වී තිබිණ. එහෙත් ශ්‍රී ලංකා පිතිකරුවන් නැවතත් පිටියට යැවීමට නම් නවසීලන්තය තවත් ලකුණු 381 ක් ලබාගත යුතු විය. 

අභියෝගය කෙතෙක් අසීරු වූයේද යත් මුල් ඉනිමේ අවාසියේ දැවැන්ත සෙවණැල්ල පිතිකරුවන් මත එල්ල කළ පීඩනය  එන්න එන්නම වැඩි කළේය. අද පෙරවරුවේදී යැවුණු තුන්වැනි ඕවරයේදී ලෝකයේ අංක 2 හිමි ටෙස්ට් පිතිකරුවා දැවී ගියේ සෙසු පිතිකරුවන් දැවී යා යුතු ආකාරයට නිදර්ශනයක් වෙමිනි. එනම් ප්‍රභාත් ජයසූරියගේ පන්දු හමුවේ ස්ලිප් හි සිටින ධනංජය ද සිල්වාට උඩපන්දුවක් දීමෙනි. 

නවසීලන්ත මුල් ඉනිමේදී ඒ ආකාරයෙන්ම දැවී ගිය පිතිකරුවන් සංඛ්‍යාව 5 කි. 
මේ අතරවාරයේදී රචින් රවීන්ද්‍රගේ පා ඉන්න සොලවමින් නිශාන් පීරිස් සිය මංගල ටෙස්ට් කඩුල්ල දවාගත්තේය. ලකුණු 41 දී රචින් රවීන්ද්‍ර දැවීයාම නවසීලන්ත පිතිකරු ලයිස්තුවට වැදුණු මරු පහරක් විය. 

ප්‍රභාත් ජයසූරිය හමුවේ දකුණත් පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දී, ප්‍රභාත්ට තරමක් හෝ අභියෝග කළ හැකි වමත් පිතිකරුවා  අනෙක් අන්තයෙන් දැවීයාම නවසීලන්තයේ විනාශයට මඟ පෑදුවේය. 

මුලු ලකුණු සංඛ්‍යාව 68 ක් වෙද්දී 9 වැනි කඩුල්ලත් බිඳ වැටුණද  මිචෙල් සෑන්ට්නර් සහ විලියම් ඕ’රූක් එක්ව අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 20 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 88 දක්වා ඉහළට ගෙන ආවේය. 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

නවසීලන්තය අගාධයේ - ප්‍රභාත් තවත් වාර්තාවක් අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.