Last Update  :  2024-12-14 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව NZ in SL Series 2024 ඉහළ නැඟීමේ පියගැට අබියස
පල්ලෙකැළේ එක්දින තරග

ඉහළ නැඟීමේ පියගැට අබියස

editorial - 2024 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින තරගයේදී නවසීලන්තය පරාජය කිරීමෙන් පසුව අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේදී ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණක් හිමිවිය. නවසීලන්තයට ප්‍රසාද ලකුණක් අහිමි විය. එහෙත් ශ්‍රේණිගත ලයිස්තුවේදී ප්‍රසාද ලකුණ 3 ක පරතරයකින් සිටින ශ්‍රී ලංකාවේ (97) සහ නවසීලන්තයේ (100) ස්ථාන වෙනස් විය හැක්කේ හෙට (ඉරිදා) සහ අඟහරුවාදා (19 වැනිදා) පැවැත්වෙන එක්දින තරග දෙකේ ප්‍රතිඵල මතය. 

නවසීලන්තය එක්දින තරගාවලියකට සහභාගි වන්නේ මාස 11 ක ඇවෑමෙන් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසර පුරාම එක්දින තරග වලදී ඉතාම හොඳින් ක්‍රීඩා කරමින් සිටී. ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික අරමුණ වන්නේ එක්දින අන්තර්ජාතික තරග වලදී පමණක් නොව සියලුම ආකාරයේ තරග වලදී ශ්‍රේණිගත  ලයිස්තුවේ ඉහළ නැඟීමයි. 

පසුගිය ඔක්තෝබර් මාසයේදී අංක 7 ස්ථානයේ සිටි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මේ වන විට එක පියවරක් ඉහළට නැඟ තිබේ. දැනට පවතින ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්තය 5 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයේත් සිටිති. එබැවින් හෙට සහ අඟහරුවාදා පැවැත්වෙන එක්දින තරග දෙක ශ්‍රී ලංකා පිලට ඉහළ නැඟීම සඳහා තිබෙන හොඳ අවස්ථාවකි. 

වත්මන් නවසීලන්ත කණ්ඩායමේ සිටින්නේ තරුණ ක්‍රීඩක පිරිසකි. කේන් විලියම්සන්, රචින් රවීන්ද්‍ර, ටොම් ලෙතම්, ඩැරිල් මිචෙල්, ටොම් බ්ලන්ඩ්ල්, ටිම් සවුති සහ  මෙන්ම ඩෙවොන් කොන්වේ වැනි පුරුදුකාරයෝ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා විවේක ගන්වා සිටිති.  එවන් කණ්ඩායමක් පරාජය කිරීම පහසු කාරියක් සේ පෙනුණත්, වත්මන් එක්දින කණ්ඩායමේ සිටින  නවකයන් වන ටිම් රොබින්සන්, මිචෙල් හේ සහ විශේෂයෙන්ම සකාරේ ෆෝක්ස් අනාගතය නිර්මාණය කරමින් සිටින ක්‍රීඩකයෝ වෙති. කෝඩුකාර මිචෙල් හේ විස්සයි-20 තරගාවලිය නිමා කළේ කඩුලු රැකීමෙන් ලෝක වාර්තාවක් පිහිටුවමිනි. 

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම හොඳින් පදම් වී තිබෙන කණ්ඩායමකි. සියලුම පිතිකරුවන් පාහේ ලකුණු ලබාගනිමින් සිටින අතරම දඹුල්ලේදී ශතකයක් ලබාගත් නමුත් අවිශ්ක ප්‍රනාන්දු තවමත් ඔහුගේ සුපුරුදු රිද්මයට අවතීර්ණ වී නැති බව අවිශ්කත් සමගින් අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි කුසල් මෙන්ඩිස් තරගයෙන් පසුව කීවේය. 
“මම අවිශ්කට කිව්වේ පන්දු කිහිපයට ලකුණු ලබාගත්තේ නැති වුණත් ඒ ගැන ඒ තරම් කලබල වෙන්න එපා කියලයි. මොකද ඒක අලුත් පිතිකරුවෙකුට එක පාරටම ලකුණු ලබාගන්න පුළුවන් තණතීරුවක් නෙමේ” 

“මම එයාට කිව්වේ මගේ පැත්තෙන් ලකුණු ඒවි. එතකන් පරෙස්සමෙන් සෙල්ලම් කරන්න කියලයි. එයා එහෙම කරපු හින්දා තමයි ශතකයක් ලබාගත්තේ. ඒත් ඉදිරියේදී එයා තවත් හොඳින් ලකුණු ලබාගනීවි” යයි ද ශ්‍රී ලංකා පිලේ හිටපු (එක්දින) නායකයා පැවසීය. 

කුසල් මෙන්ඩිස් වුවද නායකත්වයේ කටු ඔටුන්න බිම තබා කඩුලු රකින්නකු සහ පිතිකරුවකු වශයෙන් අවධානය යොමුකරන බැවින් ඔහුගෙන් ද වැඩි යමක් බලාපොරොත්තු විය හැකිය. දඹුල්ලේදී සිය හොඳම එක්දින ඉනිම (143) ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් මේ වසරේදී එක්දින තරග 16 කදී ලබාසිටින ලකුණු සංඛ්‍යාව 668 කි. එහි ඉනිමක සාමාන්‍යය  47.71 කි. 

මේ වසරේදී වැඩිම එක්දින ලකුණු ලබාගත් පිතිකරුවෝ තිදෙනාම ශ්‍රී ලාංකිකයෝ වෙති. කුසල් මෙන්ඩිස් (668), පැතුම් නිස්සංක (666) සහ චරිත් අසලංක (592) ඒ තිදෙනාය. ලෝකයේ අනෙක් සියලුම පිතිකරුවෝ ඔවුන්ට පසුපසින් සිටින අතරම මේ තිදෙනාට තවත් තරග දෙකක් ද ඉතිරිව තිබේ. 

වත්මන් ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ ප්‍රබලතම ශක්තිය වන්නේ පන්දු යැවීමයි. 

වනිඳු හසරංග ආබාධයකට ලක්ව සිටින මොහොතක, දුනිත් වෙල්ලාලගේත් බංකුවේ සිටියත් කණ්ඩායමේ පන්දු යවන්නෝ හත් දෙනෙක් සිටිති. පිතිකරු ලයිස්තුවේ සිටින චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ තිදෙනාගෙන් ඕනෑම අයකුට, ඕනෑම දවසක ඕවර 10 ක් සම්පූර්ණ කිරීමේ හැකියාව තිබේ. ජනිත් ලියනගේ පිතිකරුවකු වශයෙන් මේ වසරේදී ලබා සිටින එක්දින ලකුණු සංඛ්‍යාව 440 කි. ඉනිමක සාමාන්‍යය 48.88 කි. 

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේදී එක්දින අන්තර්ජාතික තරගාවලි 5 කට සහභාගි වී තිබේ. 

ඒවායින් බංග්ලාදේශයේදී පැවැත් තරගාවලිය 2-1 කින් පරාජය වීම හැරෙන්නට අනෙක් තරගාවලි හතරම ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ. එහෙත් ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළ නැග ඇත්තේ එක පියවරකින් පමණක් වීමට හේතුව වූයේ සිම්බාබ්වේ, ඇෆ්ඝනිස්ථානය මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ද ශ්‍රේණිගත ලයිස්තුවේදී ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටිමයි.  


අදහස් (0)

ඉහළ නැඟීමේ පියගැට අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.