Last Update  :  2026-04-04 16:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ​සෝන්ඩර්ස් - යාපනය සාන්ත මේරි ශූරයන්ගේ මහ තරගය අද

​සෝන්ඩර්ස් - යාපනය සාන්ත මේරි ශූරයන්ගේ මහ තරගය අද

editorial - 2026 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

කොළඹ සෝන්ඩර්ස් කණ්ඩායම හා යාපනය ශාන්ත මේරි කණ්ඩායම අතර අන්තර් සමාජ ශූරයන්ගේ පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය අද (4) පස්වරු 6 ට කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනය ‍මෙහෙයවන  මෙම තරගාවලියේ පිළිමළුන් වටයේ ශූරයන්ට රුපියල් මිලියනයක් ප්‍රදානය කෙරේ.අවසන් පූර්ව වටයේදී ශාන්ත මේරි කණ්ඩායම විසින් ප්‍රබල ජාවාලේන් කණ්ඩායම දඬුවම් පහර 5-4 කින් පරාජය කරමින්ද, කොළඹ සෝන්ඩර්ස් කණ්ඩායම විසින් මාවනැල්ල සෙරන්ඩිබ් කණ්ඩායම ගෝල 2-0 කින් පරාජය කරමින්ද මෙම අවසන් මහ තරගයට නිර්දේශ තහවුරු කර ගත්තේය.

එහිදී උතුරු පළාතෙන් බිහිවූ ක්‍රීඩා සමාජයක් ලෙස මෙම තරගාවලියට ප්‍රබල කණ්ඩායම් කිපයක්ම අභිබවමින් යාපනය ශාන්ත මේරි කණ්ඩායම නිර්දේෂ ලැබීම කැපී පෙනේ.1936 දී ආරම්භ කළ ශාන්ත මේරි ක්‍රීඩා සමාජය ශූරයන්ගේ තරගාවලියට උසස්වීම් ලබා ගත්තේ වසර 2022 දීය.

මෙරට පැරණිතම පාපන්දු ක්‍රීඩා සමාජයක් වන කොළඹ ගුණසිංහපුර සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය ප්‍රධානතම පාපන්දු ශූරතා රැසක්ම දිනා ඇත. කෙසේවූවත් ඔවුන් ශූරයන්ගේ තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ පළමු වතාවටය.

මෙවර ශූරයන්ගේ තරගාවලිය කණ්ඩායම් 12 කගේ සහභාගිත්වයෙන් නව තරග ආකෘතියකට අනුව සංවිධානය කිරීමේදී ලීග් හා පිළිමළුන් පිටු දැකීමේ තරග වට දෙකකින් සමන්විත විය.එහිදී ලීග් වටයේ ශූරයන් වූ කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම සිය කැමැත්තෙන් දෙවනුව ආරම්භ වූ පිළිමළුන් පිටු දැකීමේ වටයෙන් ඉවත් විය. ඒ තැනට බේරුවල සුපර්සන් කණ්ඩායම ආදේශ කරමින් එම වටය ආරම්භ විය.

මේ අතර තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය අද අවසන් මහ තරගයෙන් පසුව සිදු කිරීමේදී එහි ලීග් ශූරතාව දිනූ කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායමට රුපියල් මිලියන දෙකක්ද හා ලීග් අනුශූරතාව හිමි කර ගත් කොළඹ ජාවාලේන් කණ්ඩායමට රුපියල් මිලියනයක්ද ප්‍රදානය කෙරේ. අද පැවැත්වෙන පිළිමළුන් පිටු දැකීමේ අවසන් තරගයේදී අනුශුරතාව ලබන කණ්ඩායමට රුපියල් ලක්ෂ පහක් තිළිණ කෙරේ.

මේ අතර මෙම තරගාවලියේදී  (පිළිමළුන් පිටු දැකීමේ වටය) ජාවාලේන් කණ්ඩායම හා බේරුවල සුපර් සන් පිල අතර පැවැති තරගය වාර්තා පොතට ඇතුළත් විය.ඒ මෙරට පාපන්දු තරගයකදී දෙපිලක් ලබා ගත් වැඩිම ලකුණු ගණන එහිදී වාර්තා වීමයි.

තරගය ගෝල 2 - 2 ක් ලෙස සමවීමෙන් පසුව පිරිණමුණු දඬුවම් පහර අවස්ථා ලකුණු ගණනද කීප විටක්ම සමාන විය. අවසානයේදී ජාවාලේන් කණ්ඩායම දඬුවම් පහර 16-15 කට තරගය ජය ගන්නා විට මුළු තරග කාලයේදී දෙපිලෙන්ම ලකුණු (ගෝල ) 35 ක් වාර්තාවී තිබුණි.


අදහස් (0)

​සෝන්ඩර්ස් - යාපනය සාන්ත මේරි ශූරයන්ගේ මහ තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.