Last Update  :  2026-01-22 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී.ආර්. - මහනුවර - සී.එච්. කුසලාන වටයට පිවිසෙති

සී.ආර්. - මහනුවර - සී.එච්. කුසලාන වටයට පිවිසෙති

editorial - 2026 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ මූලික වටය නිමාවට පත්වීමට තවත් සතියක් ඉතිරිව තිබියදීම දෙවැනි වටයේදී කුසලාන ශූරතාව සඳහා තරග වැදීමේ අවස්ථාව උදාකර ගැනීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී., මහනුවර සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. යන ක්‍රීඩා සමාජ සමත්ව සිටියි. 

තරගාවලියේ 10 වැනි සතිය නිමාවන විට ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ සී.ආර්. කණ්ඩායම තරග 8 කට සහභාගි වී ඉන් 7 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 7 ක් සමග ලකුණු 42 ක් ලබා සිටියේය. 11 වැනි සතිය සී.ආර්. කණ්ඩායමට විවේකී සතියක් වුවත්, මේ වන විට ඔවුන් ලබා සිටින ලකුණු සංඛ්‍යාව අනුව වෙනත් කිසිදු කණ්ඩායමකට ඔවුන්ව පසුකර යෑමට ඉඩක් නොලැබෙනු ඇත.

සී.ආර්. කණ්ඩායමට වඩා ලකුණු 7 ක් පසුපසින් සිටින මහනුවර කණ්ඩායම මේ වන විට තරග 7 කට සහභාගි වී ඉන් තරග 5 ක් ජයගෙන, එක් තරගයක් සමව අවසන් කර ගනිමින්, සෙසු තරගය පරාජයට පත්ව තිබේ. ඒ අනුව ප්‍රසාද ලකුණු 7 ක් සමගින් මහනුවර කණ්ඩායම ලබා සිටින මුලු ලකුණු සංඛ්‍යාව 35 කි. 11 වැනි සතියේදී ක්‍රීඩා කරන තරගය ප්‍රසාද ලකුණ සමග ජයගත්තද ඔවුන්ට ලබාගත හැක්කේ ලකුණු 41 ක් පමණි. 

ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම තරග 7 කට සහභාගි වී තරග 5 ක් ජයගෙන, එක් තරගයක් පරාජය වෙමින්, සෙසු තරගය සමව අවසන් කරගෙන ලකුණු 33 ක් ලබා සිටියි. ඊට ප්‍රසාද ලකුණු 5 ක්ද ඇතුළත් වේ. 11 වැනි සතියේදී ක්‍රීඩා කරන තරගය ප්‍රසාද ලකුණ සමග ජයගත හොත් ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව 39 ක් දක්වා ඉහළ යනු ඇත.  

ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයට පත්වෙමින් කුසලාන වටයට සුදුසුකම් ලබාගන්නා සෙසු කණ්ඩායම බවට පත්වීම සඳහා 11 වැනි සතියේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය (ලකුණු 28) සහ ගුවන් හමුදාව (ලකුණු 23) අතර ද්වන්ද සටනක් හටගෙන තිබේ. එහිදී හැව්ලොක්ස් කණ්ඩායම පොලිස් කණ්ඩායමට එරෙහිවත්, ගුවන් හමුදාව සී.එච්. කණ්ඩායමට එරෙහිවත් තරග වැදීමට නියමිතය. 

හැව්ලොක්ස් කණ්ඩායමට කුසලානට වටයට පිවිසීම සඳහා එම තරගය ජය ගැනීම හෝ ප්‍රසාද ලකුණ සමග පරාජයට පත්වීම ප්‍රමාණවත් වනු ඇත. එහෙත් ගුවන් හමුදාවට කුසලාන වටයට පිවිසීම සඳහා එම තරගය ජයගැනීම පමණක් ප්‍රමාණවත් නොවන ඇත. ඒ සඳහා ඔවුන් ප්‍රසාද ලකුණද සමග එම තරගය ජයගත යුතුවන අතර හැව්ලොක්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණ නොළබා පරාජයට පත්වීමද සිදුවිය යුතුය. 

මෙම තරගාවලියේදී තරගයක් ජය ගැනිම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත. 

කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ තරගයකදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගතහොත් හෝ ලකුණු 7 කට අඩු පරතරයකින් තරගයක් පරාජයට පත්වුවහොත් පමණි. 
11 වැනි සතියේ කාල සටහන (තරග ආරම්භය - ප.ව. 3.45)


ජන. 23 වැනිදා - පොලිසිය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී 
ජන. 24 වැනිදා - යුද හමුදාව සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී 
ජන. 24 වැනිදා - සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර කොළඹ තුරඟ තරග පිටියේදී  
ජන. 25 වැනිදා - ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී 


අදහස් (0)

සී.ආර්. - මහනුවර - සී.එච්. කුසලාන වටයට පිවිසෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.