Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මේරියන්ස් ක්‍රීඩකයෝ පිත්තෙන් - පන්දුවෙන් පෙරමුණ ගනිති

මේරියන්ස් ක්‍රීඩකයෝ පිත්තෙන් - පන්දුවෙන් පෙරමුණ ගනිති

Nisanka Sandeepani - 2018 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ දෙවැනි වටයේ පළමු සතිය අවසාන වනවිට හලාවත මේරියන්ස් පිල නියෝජනය කරන සචිත්‍ර සේරසිංහ තරග හතකට සහභාගීවී ලකුණු 786 ක් ලබාගනිමින් තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වී ඇත.

සචිත්‍ර සේරසිංහ මෙවර තරගාවලියේදී  ශතක 3 ක් සහ අර්ධ ශතක 6 ක් රැස්කර ඇති අතර වරාය අධිකාරිය කණ්ඩායමට එරෙහිව ලකුණු 145 රැස්කරගත් ඔහු ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව විය.

බ්ලූම්ෆීල්ඞ් පිලට එරෙහිව ද්විත්ව ශතකයක් (නොදැවී 202) ලබාගත් කෞෂාල් සිල්වා මෙවර තරගාවලියේදී පිතිකරුවකු විසින් ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියන අතර දෙවැනි ද්විත්ව ශතකය (200) ලබාගැනීමට සංගීත් කුරේ සමත්විය.

තරගාවලියේ දැනට තරග හතකට සහභාගීවී කඩුලු 53 ක් බිඳ හෙළමින් මේ වනවිට තරගාවලියේ වැඩිම කඩුලු ලාභීයා බවට පත්වන්නට වමතින් දඟපන්දු යවන හලාවත මේරියන්ස් කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර සමත්වී ඇත. ඉනිම පහකදී කඩුලු 6 බැගින් දවාගත් පුෂ්පකුමාර කඩුලු 10 බැගින් එක් අවස්ථාවකදී දවාගෙන ඇත.

වරාය අධිකාරිය කණ්ඩායමේ චානක කොමසාරූ කඩුලු 44 ක් සහ සහ එන්.සී.සී. කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 41 ක් දවාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති. 

තරගාවලියේ දැනට වාර්තාවී ඇති ඉනිමක හොදම පන්දු යැවීම එන්.සී.සී. පිලට එරෙහිව වාර්තා කිරීමට යුදහමුදා පිල නියෝජනය කරමින් පිට දඟපන්දු යවන දුශාන් විමුක්ති (108/9) සමත්වී තිබේ. වනිඳු හසරංග (සී.සී.සී.) සහ සඳකැන් පතිරණ (මූවර්ස්) කඩුලු අට බැගින් දවාගැනීමට සමත්ව සිටිති. 

තරගයක හොදම පන්දු යැවීම බදුරලිය කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට වරාය අධිකාරිය කණ්ඩායම නියෝජනය කරන චානක කොමසාරූ (73/12) සමත්වී ඇත. කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරන ප්‍රභාත් ජයසූරිය සහ මූවර්ස් කණ්ඩායමේ සඳකැන් පතිරණ කඩුලු 11 බැගින් දවාගනිමින් තරගයක හොඳම පන්දු යැවීම් අතර දෙවැනි සහ තෙවැනි ස්ථානයේ පසුවන්නේය.

මේ වනවිට තරගාවලියේදී වැඩිම ශතක ලබාගත් පිතිකරුවන් අතර සචිත්‍ර සේරසිංහ සහ ඕෂධ ප්‍රනාන්දු (හලාවත මේරියන්ස්), මනෝජ් සරත්චන්ද්‍ර (ද්‍රවිඩ සංගමය), දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා (එස්.එස්.සී) ශතක තුන බැගින් ලබාගනිමින් තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දක්වති.

නිමාවු සති අන්තයේ පැවැති තරග වලදී ශශින් දිල්රංග (බී.ආර්.සී), සචිත්‍ර සේරසිංහ (හලාවත මේරියන්ස්), කෞශාල් සිල්වා සහ චාමර කපුගෙදර (එස්.එස්.සී.), රොන් චන්ද්‍රගුප්ත, මාධව වර්ණපුර සහ ලසිත් අබේරත්න (සී.සී.සී), සළිඳු උශාන් සහ සුබ්‍රමනියම් ආනන්ද් (බදුරලිය) සහ ඉරෝෂ් සමරසූරිය (මූවර්ස්) ශතක රැස්කළ පිතිකරුවෝ වූහ.

එන්.සී.සී. පිලේ චතුරංග ද සිල්වා (90), බ්ලූම්ෆීල්ඞ් පිලේ නිපුන් කරුණානායක (91) අවසන්වූ සති අන්තයේදී ශතකය පෙනි පෙනී දැවී ගිය අවාසනාවන්ත පිතිකරුවෝ වූහ.

නිසල තාරක (කෝල්ට්ස්), සුරාජ් රංදීව් (බී.ආර්.සී), නිශාන් පිරීස් (රාගම), සාලිය සමන් (සැරසන්ස්), අසිත ප්‍රනාන්දු සහ මාලින්ද පුෂ්පකුමාර (හලාවත මේරියන්ස්), මලිත් ද සිල්වා (බ්ලූම්ෆීල්ඞ්), අෂාන් ප්‍රියංජන් (සී.සී.සී) සහ තරිඳු රත්නායක (මූවර්ස්) මෙම සති අන්තයේ පැවැති තරග වලදී කඩුලු 5 බැගින් දවාගත් පන්දු යවන්නෝ වෙති.

2018/1/28 දින දක්වා පැවැති තරගවල දස්කම් ඇතුළත් කර තිබේ.

 

 


අදහස් (0)

මේරියන්ස් ක්‍රීඩකයෝ පිත්තෙන් - පන්දුවෙන් පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.