ජාතික ක්‍රීඩා සංගම් කිහිපයක් එක් වී මාගේ ක්‍රියාකලාපය ගැන පවසන දෑ පිළිබඳව මම ඉතා සංගමයෙන් බලා සිටින්නෙමි. සංගම් වල බහුතරයක් යැයි පවසා ගන්නා ඔවුන් පෙන්නුම් කිරීමට උත්සාහ කරන්නේ ක්‍රීඩාව වෙනුවෙන් මහත් කැක්කුමක් ඔවුන් හට ජාතික ඔලිම්පික් කමිටුවේ පරිපාලනයට එරෙහිව විධිමත් පරීක්ෂණ පැවැත්වීමට අවැසියි ඔවුන් පවසන නමුත් පරිපාලනය පිළිබඳව නිවැරැදිව කටයුතු සොයාබලා කටයුතු කිරීමේ වගකීමද පවරා තිබුණේ ඔවුන්ටමය.
ඔවුන් පවසන බහුතරයේ ප්‍රධානියා ජාතික ඔලිම්පික් කමිටුවේ මූල්‍ය කමිටුවේ ප්‍රධානියා ලෙස වසර කිහිපයක්ම කටයුතු කළ අතර එකී කාලපරාසය තුළ ජාතික ඔලිම්පික් කමිටුවේ මූළ්‍යමය ආදායම් හා වියදම් පිළිබඳව අවශ්‍ය ඕනෑම අවස්ථාවක විස්තර ලබාගැනීමේ හැකියාව තිබිණි. එකල ඒ වෙනුවෙන් කාලය වැය කිරීමේ හැකියාවක් නොතිබුණ ඔවුන් අද ජාතික ඔලිම්පික් කමිටුවේ සියලුම ක්‍රියා දෙසට ඇඟිල්ල දික්කරමින් උදම් අනමින් සිටී.
එකී බහුතරයේ අනෙක් ප්‍රධානියා ජාතික ඔලිම්පික් කමිටුවේ සියලුම වවුචර පත් පරීක්ෂා කර අනුමත කරමින් අත්සන් කර ඒවා වර්තමානයේ වැරැදියි පවසන්නෙකි. අදටත් ජාතික ඔලිම්පික් කමිටුවට පැමිණ ජාතික ඔලිම්පික් කමිටුවේ කාර්යාලයේ අසුන්ගෙන සිට ජාති ඔලිම්පික් කමිටුවට ගෙනෙන පුවත්වපත් වලින් ඔවුන්ගේ ලිපි පලවී ඇත්දැයි පරීක්ෂා කර ජාතික ඔලිම්පික් කමිටුවේම පරිගණකය හා අන්තර්ජාලය භාවිත කරමින් අවශ්‍ය පරිදි පෙත්සන් ටයිප් කර විවිධ පාර්ශවයන් අතර බෙදාහැරීම කරනු ලබයි. තවද මෙකී පුද්ගලයන් ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය, ආසියා, දකුණු ආසියා සහ අනෙකුත් ජාත්‍යන්තර රැස්වීම් සඳහා ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් බොහෝ ලෙස සහභාගී වී ඇත. ඔවුන් පවසන අන්දමට ඔවුන් එසේ ගොස් ඇත්තේ රට වෙනුවෙන් මහඟු සේවයක් කිරීමටය. මා හා සභාපතිවරයා ගොස් ඇත්තේ රට සවාරිය.
ජාතික ඔලිම්පික් කමිටුව පරිපාලන සහ අනෙකුත් වියදම් හා ක්‍රියාකාරකම් සඳහා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් සහ ආසියානු ඔලිම්පික් කමිටුවෙන් ලැබෙනුයේ ඇමරිකානු ඩොලර් 140,000 (වර්තමානයේ) මුදලක් පමණි. අනෙකුත් සියලුම අධ්‍යාපනික. ක්‍රීඩකයන්ට ලබාදෙන විශේෂ දීමනා, ජාත්‍යන්තර පුහුණු වැඩමුලු, සංගම්වල සංවර්ධනය සඳහා ලබාදෙන මුදල්, පුහුණුකරු පාඨමාලා ආදී සියලු කරුණු සඳහා මුදල් ලබාගැනීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් සහ ආසියානු ඔලිම්පික් කමිටුව වෙත වෙනමම වාර්තා ඉදිරිපත් කර මුදල් ලබාගත යුතුය. එවැනි වැඩකිරීම සඳහා ක්‍රියාකාරකම් යෝජනා එවීමට හෝ ඒවා නිරීක්ෂණය කිරීමට එකී බහුතර කණ්ඩායමට කිසිවිටක වේලාවක් නොතිබුණත් වෙනත් සංගම් විසින් හෝ අප විසින් වාර්තා ඉදිරිපත් කර මුදල් ජාතික ඔලිම්පික් කමිටුවට ලැබුණ පසු ඒවා බෙදාදීම පිළිබඳව නම් දහසක් ප්‍රශ්න ඇති වී ඇත. එකී කණ්ඩායම පවසන ආකාරයට 2009 වසරේ සිට 2017 වසර දක්වා ජාතික ඔලිම්පික් කමිටුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටවත් පුහුණුකරුවන්ටවත් සංගම් වලටත් මෙම කාල පරාසයේ ලබාදී ඇති පහසුකම් පිළිබඳ ප්‍රශ්නයක් ඇති ඕනෑම අයෙකුට අප කළ සේවය පිළිබඳ විස්තර ලබාදීමට මා කිසිවිටකත් පසුබට වන්නේ නැත.
ක්‍රීඩාව ඔප්නැංවීමට යනුවෙන් කෑගසන මෙකී බහුතරය බලය ලබාගැනීමෙහි ලා වියරු වැටී ඇත. අද ජාතික ඔලිම්පික් කමිටුවේ පුටු බෙදාගැනීමට කුළල්කන මොවුන් 2008 වර්ෂයේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම් වෙනුවෙන් මුදල් සෙවීමටවත් ඉදිකිරීම් කටයුතු සඳහා උදවු ගැනීමටවත් සොයාගැනීමටවත් සිටියේ නැත. සභාපතිවරයාට පින්සිද්ධවන්නට මෙවන් ගොඩනැගිල්ලක් අපට දායාද වූ අතර බහුතර කණ්ඩායමට අද එය සියලුම වැරැදි වලට ඇඟිල්ල දික්වන ස්ථානයක් වී ඇත.
බහුතර කණ්ඩායම විසින් ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳව පහත කිහිපයක්ද මේ සමග ඉදිරිපත් කරනු කැමැත්තෙමි.
1. තුන්කොන් පාර්ශව ගිවිසුම.
ජාතික සංගම්වල ව්‍යවස්ථාවන් වෙන වෙනම තමන්ගේ අන්තර්ජාතික සංගම් වලින් අනුමැති ලබාගතයුතුව තිබූ අතර ඇතැම් සංගම්වල අන්තර්ගත ප්‍රශ්න හමුවේ මේ සඳහා ලොකු කාලයක් වැයවිය. එලෙසම ක්‍රීඩා පනත සකස් කිරීම වෙනුවෙන් විශේෂ කමිටුවක් පත්කර තිබූ අතර එම කමිටුවේ ප්‍රගතිය ඉතා මන්දගාමීව පැවතිණි. මේ හේතුන් සියල්ල මත එම කර්තව්‍ය සඳහා වැඩි කාලපරාසයක් වැයවූ බව දන්වනු කැමැත්තෙමි. බහුතර කණ්ඩායම යැයි පවසනන් පවසන පරිදි ජාතික ඔලිම්පික් කමිටුවේ පාරදෘශ්‍යභාවයට හා යහපාලනය කිසිසේතම බිඳ වැටී නොමැති බවද පවසනු කැමැත්තෙමි.
2. අවසන් වරට පැවැත්වූ වාර්ෂික මහ සභා රැස්වීමේ වාර්තාව (2011) මෙතෙක් සාමාජිකත්වයට ඉදිරිපත් නොකිරීම.
වාර්ෂික මහ සභා රැස්වීමේ වාර්තාව (2011) සියලුම සාමාජිකයින් අතර බෙදාහැර ඇති අතර ඕනෑම අයෙකුට ජාතික ඔලිම්පික් කමිටුවට පැමිණ මා හමුවී එය නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත.
3. වසර 2010 සිට මේ දක්වා වාර්ෂික වාර්තා හා ක්‍රියාකාරී සැලසුම් ඉදිරිපත් කරන ලෙස කළ ඉල්ලීමද පැහැර හැරීම.
කිසිවෙක් මේ වන විටත් එවැනි වාර්තා අවශ්‍ය යැයි අපෙන් ඉල්ලීම් නොකර ඇති බව පවසනු කැමැත්තෙමි. කෙසේ වෙතත් 2009 - 2013 දක්වා වසර වලට අදාළ වාර්තා එම වසර වලදී පවත්වන ලද විධායක සභා රැස්වීම් වලදී ලබා දී ඇති අතර 2013 - 2016 දක්වාවූ වාර්තා ද සූදානම්ව පවතින අතර අවශ්‍ය ඕනෑම අයෙකුට ජාතික ඔලිම්පික් කමිටුවට පැමිණ මා හමුවී ඒවා නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත. ඊළඟ මහා සභා රැස්වීමේදී එම වාර්තා සංගම් නිලධාරීන්ට බෙදාදීමට බලාපොරොත්තු වන බවද දන්වනු කැමැත්තෙමි. එනමුදු ක්‍රියාකාරී වර්තාවල පිටපත් මූල්‍ය කමිටුවට ලබාදී ඇති බවද සඳහන් කරනු කැමැත්තෙමි.
4. 2012 සිට 2016 දක්වා වාර්ෂික ගිණුම් වාර්තා මේ වනතෙක් ලබා නොදීම හා එම ගිණුම් කමිටුවේ විධායක සභාව හෝ නිලධාරී මණ්ඩලය දැනුවත් කිරීමකින් තොරව 2017 අවසන් භාගයේදී විගණනය සඳහා බාරදීම.
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් සහ ආසියානු ඔලිම්පික් කමිටුවෙන් කළ දැනුවත් කිරීමට අනුව විධායක සභා රැස්වීම අපට 2013 අගභාගයේ සිට පැවැත්විය නොහැකිය. විධායක කමිටුව සභා රැස්වීමක් 2013 සිට 2017 වලංගු නොවුණ බැවින් වාර්ෂික ගිණුම් වාර්තා විධායක කමිටුවට ලබාදිය නොහැක. කෙසේ වෙතත් 2013 සැප්තැම්බර් 20 පැවැත්වූ විධායක සභා රැස්වීමේදී ඒ කාලපරාසවලට අදාළ ගිණුම් වාර්තා හා ක්‍රියාකාරී සැලසුම් වාර්තා ඉදිරිපත් කර ඇත. 2016 ජූනි මස 16 අවසන් වරට පවත්වා ඇති මූල්‍යම කමිටු රැස්වීමේදී ද එම කාලපරාස වලට අදාළ ගිණුම් වාර්තා මූල්‍යම කමිටුවට ඉදිරිපත් කර ඇත. ඉක්බිතිව පැවැති (2016 සැප්. 06 සිට 2017 අප්‍රේල් 04 දක්වා - රැස්වීම් 14ක්) කළමනාකාරී මණ්ඩලය රැස්වීම් වලදී ගිණුම් කටයුතු, ක්‍රීඩා තරගාවලිය, ක්‍රියාකාරී සැලසුම්, අනෙකුත් සියලුම කටයුතු පිළිබඳ සාකච්ඡා කරන ලදී. ඊට අමතරව 2017.01.18, 2017.04.07, 2017.09.07 දින වලදී සංගම් නියෝජිතයන් සමග පවත්වන ලද රැස්වීම් වලදී ද ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාව, ක්‍රීඩා තරගාවලිය, ක්‍රියාකාරී සැලසුම පිළිබඳ සියලු තොරතුරු සාකච්ඡා කර ඇත. එකී බහුතර කණ්ඩායමේ බොහෝ සාමාජිකයන් මෙම රැස්වීම් සඳහාද සහභාගී වී ඇති අතර ඔවුන්ගේ නොදැනුවත් භාවය අරුම දනවන කරුණකි.
5. කමිටුවේ ව්‍යවස්ථා කෙටුම්පත මාස හයක පමණ කාලයක් රඳවා තබා ගනිමින් දින 10ක් ඇතුළත ඒ පිළිබඳව සිය අදහස් දැනුම් දෙන ලෙස සාමාජිකයන්ට දැනුම්දීම.
ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථා කෙටුම්පත සෑදීම දේවාහෙන්රි, ප්‍රීති පෙරේරා, රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ අනුදැනුම ඇතිව සිදුවූ අතර ව්‍යස්ථා කෙටුම්පතේ සියලුම නියෝජිතයින් වෙත ඔක්තෝබර් මස 11 වන දින යවා ඇති බව දන්වනු කැමැත්තෙමි. බහුතර සංගමයේ යැයි පවසන්නන්ගේ ප්‍රධානීන් ළඟද එකී ව්‍යවස්ථා කෙටුම්පත මාස හයක පමණ කාලයක් තිබූ අතර එම කාලපරාසයේ ඔවුන්ගේ අදහස් හා යෝජනා අනුව එකී කෙටුම්පත සෑදීම සිදුකරන ලදී.
6. ක්‍රීඩකයන්ගේ අනුකමිටුව.
2008 වසරේ සිට 2016 වසර දක්වා ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගීත්වය සපිරූ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනා හට ඉහත කමිටුවට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ අනුදැනුම මත ආරාධනා කළ අතර නියමිත නිර්දේශ අනුව සහභාගීත්වය සැපුරූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සංගමය පිහිටුවා සභාපති ලේකම් පත්කරන ලදී. එසේ පත්කරගත්තන් පිළිබඳවද අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව දැනුවත් කරන ලදී. මාගේ පෞද්ගලික හිතුමනාපයට මාගේ සමීපතයින් කිසිලෙසකවත් පත් නොකළ බවද පවසනු කැමැත්තෙමි.
මලල ක්‍රීඩක කොමිසම පිළිබඳව කෙටුම්පත් කරන ලද ව්‍යවස්ථාවේ සඳහන්ව තිබූ අතර එය 2017 නොවැම්බර් නව වන දින පැවැති මහ සභා රැස්වීමේදී අනුමත කරන විට කිසිවෙකුට ඒ පිළිබඳ කිසිවෙකුගේ විරෝධයක් නොදැක්වූ අතර මෙම ක්‍රීඩකයන්ගේ අනුකමිටුවටද මහා සභා රැස්වීමේදී ඡන්ද බලයක් හිමියැයි දැනගත් විගස සියල්ලන්ටම එය මහඟු ප්‍රශ්නයක් වී ඇත. කෙසේ නමුත් මලල ක්‍රීඩා කොමිසම පිළිබඳව වැඩිදුර උපදෙස් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට සහ ආසියානු ඔලිම්පික් කමිටුවට ලබාගැනීමට කටයුතු කළ අතර ඔවුන්ගේ උපදෙස් පරිදි ක්‍රීඩකයින්ගේ අනුකමිටුවෙහි කොන්දේසි හා නිර්දේශ පිළිබඳ ජනවාරි මස 4 වන දින පැවැත්වීමට නියමිත විශේෂ මහා සභාරැස්වීමේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.
7. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උපදෙස් වසන් කිරීම.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් දුන් උපදෙස් සියලු සංගම් අතර බෙදාහැර ඇති අතර එසේ වසන් කිරීමක් පිළිබඳ නොදනිමි.
8. න්‍යාය පත්‍රයට ව්‍යවස්ථානුකූලව කරුණු ඇතුළත් කිරීම.
ඇතුළත් විය යුතු මූලික කරුණු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබූ අතර සාමාජිකයන් විසින් ඇතුළත් කළ යුතු යැයි සඳහන් කර තිබූ කරුණු අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට සහ ආසියානු ඔලිම්පික් කමිටුවට ඉදිරිපත් කර ඔවුන්ගේ අනුදැනුම මත න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලදී.
9. මහ සභා රැස්වීමේදී ගත් තීරණ නොසලකා හැරීම.
මහා සභා රැස්වීමේදී ගත් කිසිදු තීරණයක් අප විසින් නොසලකා හැරීමක් කිසිවිටකත් සිදුනොකළ අතර එම රැස්වීමේදී සාකච්ඡා කළ සියලු කරුණු අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට සහ ආසියානු ඔලිම්පික් කමිටුවට ඉදිරිපත් කර ඔවුන්ගේ උපදෙස් පරිදි සියලු කටයුතු අප විසින් සිදුකරන බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි. නොවැම්බර් 9 වන දින අනුමත වූ විධායක සභාව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට සහ ආසියානු ඔලිම්පික් කමිටුව මගින් නිෂ්ප්‍රභ කළ බැවින් දින 14ක් ඇතුළත විධායක කමිටු රැස්වීමක් පැවැත්වීමට නොහැකි විය. ඒ වෙනුවට විශේෂ මහා සභා රැස්වීමක් පවත්වන ලෙස ඔවුන් අප දැනුවත් කළ අතර පළමුව එය දෙසැම්බර් 31 වන දින පැවැත්වීමට කරුණු විමසුවත් දීර්ඝ නිවාඩුව සහ වර්ෂ අවසානය බැවින් ජනවාරි 04 වන දිනට එය පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලදී.
10. නව ක්‍රීඩා සංගම්හි ලේඛන ඉදිරිපත් නොකිරීම.
නව ක්‍රීඩා සංගම්හි ලේඛන ලියාපදිංචි තැපෑලෙන් සියලු සංගම් වෙත යවා ඇති අතර කවරෙකුට හෝ එම ලේඛන නොලැබී ඇත්නම් ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඒ පිළිබඳ විමසීම් කළ හැක.
11. නිලවරණය ලබාගැනීමට තිබෙන අයිතිය ව්‍යවස්ථානුකූලව විනාශ කිරීම.
ක්‍රීඩා අමාත්‍යවරයාත් අවස්ථා කිහිපයකදී කකුලුවා ඇදේට ගොස් පැටවුන්ට කෙලින් යන්න කියනවා යැයි උපහැරණ ගෙන ජාතික ඔලිම්පික් කිමටුවට විගණන වාර්තා අනුමැතියෙන් තොරව නිලවරණය පවත්වන්නේ නම් අනෙකුත් ජාතික සංගම් වලට එසේ කරන ලෙස උපදෙස් දෙන්නේ කෙසේදැයි කිහිප අවස්ථාවකම පවසා තිබිණි. ඊට අමතර විගණන වාර්තා අනුමැතියෙන් තොරව නිලවරණය පවත්වන්නේ කෙසේදැයි රටපුරා පුරසාරම් දෙඩූ බහුතර කණ්ඩායම විසින්ම විගණන වාර්තා අනුමැතියෙන් ලැබෙනතුරු නිලවරණය කල්දමන්නේ යැයි චෝදනා කිරීම හාස්‍යදනවන කරුණකි.
මෙසේ ලැබුණු චෝදනා පිළිබඳ වැඩිදුර සභාපතිවරයා සමඟ මා සාකච්ඡා කර ඉක්බිතිව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට සහ ආසියානු ඔලිම්පික් කමිටුව සමඟද මේ පිළිබඳව සාකච්ඡා කර විගණන වාර්තා අනුමැතිය ලැබීමෙන් පසුව නිළවරණය පැවැත්වීම වඩා සුදුසුයැයි නිගමනය කරන ලදී. දැනටමත් සියලුම ගිණුම්කරණ වාර්තා විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර අවසන් අතර විගණන දෙපාර්තමේන්තු අවසන් වාර්තාව බලාපොරොත්තුවෙන් පසුවේ. ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය කිසිවිටෙකත් නොපැවැත්වීමට කිසිම පලාපොරොත්තුවක් නොමැති බවත් පෙබරවාරි මාසය තුළදී අනිවාර්්‍යයෙන්ම නිලවරණය විගණන වාර්තා සහිතව පැවැත්වීමට හැකිවන බවත් වගකීමෙන් ප්‍රකාශ කරනු කැමැත්තෙමි.
12. නොකඩවා එකම නිලධාරීන් පිරිසක් තනතුරු දැරීම.
පසුගිය අවුරුදු 20ක කාලපරාසය තුළ කමිටුවේ පාලනය එකම ප්‍රධානීන් පිරිසක් හොබවන බව හා මාගේ ප්‍රතිරූපය නැංවීම සඳහා මා විසින් කමිටුවේ සම්පත් යොදා ගන්නා බව පවසන බහුතරය යැයි පවසන කණ්ඩායමේ බොහෝ සාමාජිකයින්ද එම කාලපරාසය තුළ ජාතික ඔලිම්පික් කමිටුවේ ඉහළ තනතුරු දරමින් අවුරුදු පතා ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් අන්තර් ජාතික තරගාවලි, අන්තර් ජාතික සමුළු සඳහා මේ වනතෙක්ම සහභාගී වී ඇත.
ඇතැමෙක් ජාතික ඔලිම්පික් කමිටුවේ මෑතක් වන තෙක්ම ඉන්ධන සඳහා දීමනාද ලබාගෙන, මේ වන විටත් දුරකතන බිල්පත්, අන්තර්ජාල බිල්පත් පියවීමද ලබාගනිමින් සිටී. තවද ජාතික ඔලිම්පික් කමිටුවේ ටැබ් යන්ත්‍ර, ලැප්ටොප් පරිගණක, අනර්තර්ජාල පහසුකම් ලබාගන්නා උපකරණ ගෙදර තබාගෙන ක්‍රීඩාව සඳහා මහඟු සේවයක් සිදුකරමින් සිටී. මෙසේ සිදුකරමින් ඔවුන් අක්‍රමිකතා පිළිබඳව හිතුමතේ කියවයි. රැඳීමට නිවහනක් සාදාදුන් සභාපතිවරයා මෙවර ඡන්දයට ඉදිරිපත් වන්නේද නැත. අවුරුදු 20ක කාලපරාසය තුළ කමිටුවේ පාලනය එකම ප්‍රධානීන් පිරිසක් හෙබවීම අද ඔවුනට ප්‍රශ්නයකි. ඔවුන් ද එම කාලපරාසය තුළ ඉහළ තනතුරු දැරූ බවක් ඔවුනට මතකයේ නැත. සභාපතිවරයා හා අප මහඟු ප්‍රයක්නයක් දරා මිලියන 40ක මුදලක් ජාතික ඔලිම්පික් කමිටුව සතු ස්ථාවර තැන්පතුවක් ලෙස පවත්වාගෙන යෑමට කටයුතු සූදානම් කර ඇති අතර බහතුරයයැයි පවසන කණ්ඩායමේ පිරිස් සංගම්වල නිලධාරීන් හට තමා පත්වූ විට ජාතික ඔලිම්පික් කමිටුව තුළ ඕනෑ තරම් මුදල් තිබෙන පවත් ඒවා සංගම් නිලධාරීන් බෙදාදීමට හැකි බවත් පවසමින් ඡන්දය එකතු කිරීමේ කටයුතු වල නියැලෙමින් සිටින බවද පවසනු කැමැත්තෙමි.
යම්කරුණක් නිරාකරණය කර ගැනීමට අවැසිනම් ඒ සඳහා මාවෙත පැමිණ විමසීමට ඕනෑ තරම් හැකියාව තිබියදී, මක්නිසාද යත් බහුතර කණ්ඩායම යැයි පවසන කණ්ඩායමේ නියමුවා ලෙස කටයුතු කරන්නෙක් සතියට දින 3ක් කාලය ගෙවාගැනීම පිණිස ජාතික ඔලිම්පික් කමිටුවට පැමිණෙමින් සිටියදීත් මෙසේ තැන් තැන්වල පෙත්සම් ගසමින් ජාතික ඔලිම්පික් කමිටුවෙන් ලබා ගත් හැකි උපරිම වරප්‍රසාද ලබාගෙන සංගම් නිලධාරීන්හට මජහනතාවට ජාතික ඔලිම්පික් කමිටුව පිළිබඳ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ඡන්දය ලබාගනිමින් ජයග්‍රහණය ලබාගැනීම පිණිස මෙසේ සිදුකරන ක්‍රියාවලින් මා හා සභාපතිවරයා දැඩිව හෙලාදකින බව පවසනු කැමැත්තෙමි.
මැක්ස්වෙල් ද සිල්වා
මහ ලේකම් - ජාතික ඔලිම්පික් කමිටුව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.