Last Update  :  2025-12-03 11:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල ක්‍රීඩා නිලවරණය කල් ඉකුත් වෙයි

මලල ක්‍රීඩා නිලවරණය කල් ඉකුත් වෙයි

editorial - 2025 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පසුගිය අගෝස්තු 25 වැනිදා සිට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතට පත් කිරීමෙන් පසුව මේ දක්වා එහි නිලවරණය කැදවීමට ක්‍රීඩා අමාත්‍යාංශය අපොහොසත් වීමෙන් වසර 2026 එහි තරග දින දසුන ක්‍රියාත්මක කිරීමේ ගැටළුකාරී තත්වයක් පැන නැගී ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග සහභාගිත්වයට හා දේශීය තරග මාලා සංවිධානයටද එමගින් අහිතකර බලපෑමක් එල්ල වනු ඇතැයිද වාර්තාවේ. වැඩි දුරටත් වාර්තා වන්නේ මෙම තත්වය තුළ ලබන ජනවාරී 2 - 3 දෙදින කොළඹ සුගතදාස පිටියේදී කැදවා ඇති ජාතික කෙටි ධාවන ඉසව් මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමත් අවිනිශ්චිත බවයි.

එය ලබන පෙබරවාරි 6 - 7- 8 යන දිනවල චීනයේ ටැන්ජින් නුවරදී පැවැත්වෙන 12 වැනි ආසියානු මලල ක්‍රීඩා ගෘහස්ථ තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කෙරෙන තේරීම් තරගාවලියක් ලෙසත් ප්‍රකාශයට පත් කර තිබේ.ඒ හේතුවෙන් එකී තරග සංචාරයට මෙම තත්වය ආසන්නයේම බලපෑමක් සිදු කර තිබේ.

 2026 වසර සදහා මේ වන විට කෙටුම්පත් කර තිබෙන තරග දින දසුනට අනුව ජපානයේ ෆුකෝකා නුවරදී ලබන පෙබරවාරි 21 වැනිදා 18 වැනි ආසියානු රට හරහා දිවීමේ තරගාවලිය පැවැත්වීමට නියමිතය.

අගෝස්තු 25 වැනිදා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ අති විශේෂ ගැසට් නියෝගයෙන් අත්හිටු වනු ලැබුවේ අගෝස්තු 18 වැනිදාට කැදවා තිබූ එහි නිලවරණය (2025 - 27) හදිසියේ අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට සිදු වීමේ පසුබිම තුළයි.

ක්‍රීඩා ඇමැතිවරයා අගෝස්තු 25 වැනිදා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය විසුරුවා හරිමින් නිකුත් කළ එම ගැසට් නිවේදනයේ දක්වා තිබුණේ පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීම සදහාත් නව නිලධාරීන් පත් කර ගැනීම සදහා වූ නිලවරණ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීම සදහාත් යනාදී සීමිත කාරණා ඉටු කර ගැනීම තෙක් එහි කාර්‍යයන් කර ගෙන යාම හා කළමනාකරණය කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය පවරණ බවයි.

එම අති විශේෂ ගැසට් නිවේදනයෙන්ම ශ්‍රී ලංකා මේසපන්දු සම්මේලනයේ හා ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ කටයුතුත් එකී කාරණාම මුල් කර ගනිමින් ක්‍රීඩා ඇමැතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට ලේකම්වරයාට පවරා තිබුණි.

කෙසේවූවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් (රාජකාරී ආවරණ) වී.ප්‍රේමචන්දිරන් මහතා පසුගිය සැප්තැම්බර් 24 වැනිදා මලල ක්‍රීඩා අනු සංගම් වෙත නිවේදනයක් යොමු කරමින් දැනුම්දී තිබුණේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා විධායක කමිටුව සදහා නව නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය කැදවීමට අදාළව අනු සංගම් හා ක්‍රීඩා සමාජ හා ක්‍රීඩා සමාජ වල තොරතුරු සැෆ්තැම්බර් 10 වැනිදාට පෙර තමන් වෙත යොමු කරන ලෙසයි. එහෙත් එයින් පසුව මලල ක්‍රීඩා නිලවරණය කැදවීම සම්බන්ධයෙන් යාවත්කාළීන කිරීම් මෙතෙක් ඉදිරියට ගොස් නැතැයිද ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.

වසර 2026 ට කෙටුම්පත් කර තිබෙන මලල ක්‍රීඩා තරග දින දසුනට අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි 15 කට පමණ අවධානය යොමු කර සිටියි. ඒ අතර හොං කොංහිදී මැයි 28 සිට 31 වැනිදා දක්වා පැවැත්වෙන 22 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය, ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවරදී ජූලි 23 සිට අගෝස්තු 2 වැනිදා දක්වා පැවැත්වෙන 23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, ජපානයේ ආචි නුවරදී සැප්තැම්බර් 24 සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය, සෙනගල් රාජ්‍යයේ ඩකාර් නුවරදී ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙල ප්‍රධාන වේ.

ලබන පෙබරවාරි 28 සිට මාර්තු 1 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පළමු ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය පැවැත්වීමට එහිදී සැළසුම් කර තිබේ.එහි දක්වා ඇති පරිදි 2026 වසරට නියමිත104 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට සැළසුම් කර ඇත්තේ සැප්තැම්බර් 4 - 5 - 6 දියගම මහින්ද රාජපක්ෂ පිටියේදීය.

ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණය පවත්වා අවසන් කිරීමට ක්‍රීඩා පනතේ විධිවිධාන අනුව අවම දින 45 කට ආසන්න කාලයක් ගත වන බැවින් මලල ක්‍රීඩා නිලවරණය මෙතැන් සිට කැදවූවත් විධායක සභාව පත් කර ගැනීම සදහා අවම ලබන ජනවාරි 15 වැනිදා තෙක් කල් ගත කිරීමට සිදුවේ.


අදහස් (0)

මලල ක්‍රීඩා නිලවරණය කල් ඉකුත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.