ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ මෙතෙක් බිහිවූ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයකු ලෙස සළකන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු තාක්ෂණික අධ්‍යක්ෂ පී.ඩී. සිරිසේන මහතා අද (18) උදෑසන අභාවප්‍රාප්ත විය.
මිය යන විට 77 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙකු වන සිරිසේන මහතා එකල ජාත්‍යන්තරයේද අවධානය දිනා ගත් මෙරට සුවිශේෂී පාපන්දු ක්‍රීඩකයෙකු බවට පත්ව සිටියේය. පසු කාලයේ ‘ෆුට්බෝල් සිරා’ යනුවෙන් ක්ෂේත්‍රයේ ප්‍රචලිතව සිටි ඒ මහතා කලක් ශ්‍රී ලංකාවේ මෙන්ම මාලදිවයිනේද ජාතික පාපන්දු පුහුණුකරු ධුර දැරීය.
ඔහුගේ පාපන්දු දිවිය වසර 70 ක් තරම් දිගු දුරක් ගෙවන අතර මෙරට සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන ‘සෝන්ඩර්ස්’ ක්‍රීඩා සමාජයේ නිර්මාතෘවරයා ලෙස එහි ආරම්භයේ සිටම මේ දක්වා වසර 50කට අධික කාලයක් එහි ලේකම්වරයා හා ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කළේය.
ආසියානු පාපන්දු සම්මේලනයේ තාක්ෂණික උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ පළමු ශ්‍රී ලාංකිකයාද වන සිරිසේන මහතා වසර 15 කට ආසන්න කාලයක් ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ අතර එහි නායකත්වයද වසර ගණනාවක් හෙබවීය.
ඒ මහතා මෙරට පාපන්දු ක්‍රීඩා ක්ෂේත්‍රයට දැක්වූ සුවිශේෂී දායකත්වය අගයමින් එකල ජනාධිපති ධුරය දැරූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා ඒ මහතාගේ උපන්ගම වන මාලිගාවත්තේ පිහිටි නාගරික ක්‍රීඩාංගනය පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනය ලෙස නම් කරනු ලැබීය.
ඒ මහතාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (21) පස්වරු 5.00 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.
දේහය හෙට (19) පෙරවරු 9 සිට කොළඹ ඩෑම් වීදියේ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජ මූලස්ථානයේ තැන්පත් කර අනතුරුව 20-21 දෙදින බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තබනු ඇත.
සිරිසේන මහතාගේ අවසන් කටයුතු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ දායකත්වයෙන් සිදුකෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.