Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු කණ්ඩායමට ද්විත්ව පුරවැසියෝ 11ක්

පාපන්දු කණ්ඩායමට ද්විත්ව පුරවැසියෝ 11ක්

editorial - 2023 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රවර්ධනය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග අතර ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් විදේශීය ක්‍රීඩකයන් 11 දෙනකුට ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පවසයි.

එහි සභාපති ජස්වර් උමාර් හා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන උපදේශක ඇන්ඩි මොරිසන් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ජස්වර් උමාර් මහතා පැවැසුවේ විදේශීය ක්‍රීඩකයන් 43 දෙනකු කෙරෙහි පාපන්දු ආයතනය මේ වනවිට අවධානය යොමුකර ඇති බවත් ඉන් හය දෙනකුට දැනටමත් ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මැදිහත්වීමෙන් කටයුතුකර ඇති බවත්ය.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ ඉදිරි තරග හා ප්‍රවර්ධන සැලසුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සමඟ සාකච්ඡාවක් සිදු කෙරුණු බවත් එහිදී වසර 2024-25 ජාතික පාපන්දු සංවර්ධන සැලැස්මට ඇමැතිවරයාගේ සහය පළකර සිටි බවත් පැවැසීය.

ඉදිරියේ දී ශ්‍රී ලංකා රජය, ක්‍රීඩා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය යන සිවු පාර්ශ්ව ඒකාබද්ධ කර ගනිමින් මෙරට පාසල් පාපන්දු ක්‍රීඩාවේ නැංවීමේ සැලැස්මක් මාස තුනක් ඇතුළත දියත් කරන බවත් ඒ සඳහා අඩිඩාස් ආයතනය ශ්‍රී ලංකාවට පාපන්දු 13500ක් ලබාදීමට එකඟවී සිටින බවත් මාධ්‍ය හමුවේ දී ජස්වර් උමාර් මහතා වැඩිදුරටත් පැවැසීය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණු උපදේශක ස්කොට්ලන්ත ජාතික ඇන්ඩි මොරිසන් මහතා පැවැසුවේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව නව මාවතකට යොමු කිරීම සඳහා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාව වඩාත් ඵලදායී වූ බවයි.

ඉදිරියේදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ දක්ෂතා වඩාත් සුබදායී මට්ටමට ළඟාවනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවත් ඔහු පැවැසීය.

 

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ 2024-25 සංවර්ධන සැලැස්ම ලුහුඬින්

• සියලු දේශීය තරගමාලා මැයි මාසයේ සිට එකවර ආරම්භ කිරීම

• ක්‍රීඩා සමාජ හා ක්‍රීඩකයන්ගේ ලියාපදිංචි කටයුතු සම්බන්ධයෙන් පැන නැගී තිබෙන දෝෂ තත්ත්වයන් ඉක්මණින් නිවැරැදි කිරීම

• ජුනි මාසයේදී සිවු​ෙකාන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය කොළඹ දී පැවැත්වීම.

• අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සත්කාරයෙන් පැවැත්වෙන සාක් වයස 20න් පහළ (පිරිමි) තරගාවලියට සූදානම්වීම හා ශ්‍රී ලංකා කණ්ඩායම අවම අනුශූරතාව ලැබීම දක්වා සූදානම් කිරීම.

• ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක අයිතිය ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සතුකර ගැනීම හා ඒ සඳහා සුදුසු ඉඩමක් නිර්දේශ කිරීම.

• පාපන්දු ආයතනයේ ප්‍රධාන විධායක ධුරයට සුදුස්සෙක් බඳවා ගැනීම සඳහා දෙස් විදෙස් අයැදුම්කරුවන්ගෙන් ඉල්ලුම්පත් කැඳවීම.

• පාපන්දු ආයතන මූලස්ථානයේ වැටුප් ලබන කාර්ය මණ්ඩලයේ වයස 60 ඉක්මවූ අයගේ විශ්‍රාම යාමෙන් හිස්වන ධුර සඳහා සුදුස්සන් පත් කිරීම.

• වසර 2025 සිට වයස 17න් පහළ හා 20න් පහළ යොවුන් ලෝක කුසලාන තරගමාලා වාර්ෂිකව පැවැත්වීමට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ගෙන තිබෙන තීරණය හමුවේ ඒ සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීම.

• ප්‍රාදේශීය පාපන්දු ලීග 55ක් සඳහා ප්‍රමිතිගත සැලසුම් වෙනුවෙන් අරමුදල් වෙන් කිරීම.

• පාසල් පාපන්දු ක්‍රීඩාව නැංවීම සඳහා අඩිඩාස් ආයතනයෙන් ලැබෙන පාපන්දු 13500ක් දිවයින පුරා තෝරාගත් පාසල්වලට බෙදාදීම හා පාසල් තරගාවලි ආරම්භ කිරීම.

• කාන්තා පාපන්දු ක්‍රීඩාව නැංවීමේ සැලසුම් ක්‍රියාවට නැගීම හා ඒ සඳහා අරමුදල් වෙන් කිරීම.

• 2024 සාක් ශූරතා (පිරිමි) තරගාවලියේ සත්කාරය ලබා ගැනීම හා එහිදී වසර 30 කට පසුව ශූරතාව දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම.

• ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සඳහා ශ්‍රී ලාංකික සම්බවයකින් යුත් විදේශීය ක්‍රීඩකයන් බඳවා ගැනීම.

 


අදහස් (0)

පාපන්දු කණ්ඩායමට ද්විත්ව පුරවැසියෝ 11ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.