ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන පළමු පෙළ ප්‍රධානතම තරගාවලිය සඳහා මෙවරත් කණ්ඩායම් 24 ක් ක්‍රීඩා කිරීමට නියමිතය. එහි ‘ඒ’ මට්ටමේ තරගාවලිය සඳහා කණ්ඩායම් 14 ක් ක්‍රීඩා කරන අතර ‘බී’ මට්ටමේ තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක් සහභාගි වෙති.
‘ඒ’ මට්ටමේ කණ්ඩායම් 14 කාණ්ඩ දෙකකින් තරග වදින අතර එක් එක් කාණ්ඩයේ ඉහළින් සිටින කණ්ඩායම් 4 සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගනී. ඉතිරි කණ්ඩායම් හය පළඟ ශූරතාවලිය සඳහා තරග වදිනු ඇත.
පළමු පෙළ අන්තර් සමාජ තරගාවලිය දෙසැම්බර් මාසයේදී ආරම්භ වන අතර එය තුන්දින තරගාවලියක් ලෙසින් පැවැත්වේ. සුපිරි 8 දෙනාගේ තරගාවලිය සිවුදින තරගාවලියකි.
මෙම තරගාවලියෙන් අනතුරුව අන්තර් පළාත් තරගාවලිය පැවැත්වෙන අතර එයද සිවුදින තරගාවලියකි. අන්තර් පළාත් තරගාවලිය සදහා රෝස පැහැති පන්දුව යොදා ගැනීමට කටයුතු කරන අතර හැකිවුවහොත් සමහර තරග දිවා/රාත්‍රී තරග ලෙස පැවැත්වීමට අදහසක් ඇති බවද තරගමාලා කමිටුවේ සභාපති බන්දුල දිසානායක මහතා පැවසීය.
සියලුම ක්‍රීඩා සමාජ පළමු පෙළේ තරගාවලිය ආරම්භවීමට පෙර ඔවුන්ගේ වියදමින් පුහුණු තරග පවත්වන බැවින් මේ වසරේ සිට ඔවුන්ට සුදානම් වීම සදහා ආධාර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. ඒ සදහා ලබන සතියේ සිට තරග පහකින් සමන්විත තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ 24 ටම රුපියල් මිලියනයක් දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය ආධාර සපයනු ඇත.
“ක්‍රීඩා අමාත්‍යවරයා විසින් හේමක අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවීණ ක්‍රීඩකයින් වන අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් පත්කර ඇති කමිටුව අපට ආරාධනා කළා. අප ඔවුන් සමගින් සුහදව කටයුතු කරමින් අපගේ වැඩ පිළිවෙල ඔවුන්ට ඉදිරිපත් කළ අතර ඔවුන්ද ක්‍රිඩාවේ දියුණුවට හොඳ යැයි හිතෙන සමහර යෝජනාද අපට ඉදිරිපත් කළා”
“අප දන්නා පරිදි තවමත් ඔවුන්ගේ අවසන් වාර්තාව පිළියෙල කර නොමැති අතර ඔවුන් විසින් අපට දුන් සමහර උපදෙස් පළමු පෙළ තරගාවලියන්හිදී ක්‍රීයාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා” යයි දිසානායක මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සියලුම කාන්තා සහ පිරිමි ක්‍රිකට් තරගාවලි ආවරණය වන පරිදි දින දර්ශනයක්ද සකසා තිබේ. දින දර්ශනය අනුව තමන් සහභාගි වන තරග පැවැත්වෙන දින වකවානු සම්බන්ධයෙන් දැනුම්වත් වීමට දිස්ත්‍රික් සංගම්වලට, පළාත් සංගම්වලට, ක්‍රීඩා සංගම්වලට මෙන්ම ක්‍රීඩකයින්ටත් අවස්ථාවක් හිමිවේ.
මෙම දින දර්ශනය සඳහා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය ලැබී ඇති බවත් තරගාවලි කමිටුවේ සභාපති බන්දුල දිසානායක මහතා අද (25 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.