Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩාවට විප්ලවීය වෙනසක් අවශ්‍යයි

ක්‍රීඩාවට විප්ලවීය වෙනසක් අවශ්‍යයි

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ජයන්ත විජේරත්න මහතා

රටේ ක්‍රීඩාවේ විප්ලවීය වෙනසක් සිදුවිය යුතු අවස්ථාවක ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ බිහිවීම ඊට විශාල පිටිවහලක් විය හැකි බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න මහතා පවසයි.

ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවෙමින් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා එසේ පැවැසීය.

අභිනවයෙන් ස්ථාපිත කළ ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නව ව්‍යවස්ථා කෙටුම්පත අනුමත කර ගැනීම හා එහි සාමාජික නාමාවලිය සකස්කර ගැනීම සඳහා මෙම විශේෂ මහා සභා රැස්වීම කැඳවා තිබුණි.

එහිදී සංගමයේ ලේකම් සිරිනාථ රාජපක්ෂ මහතා සභාවට ඉදිරිපත් කළ නව ව්‍යවස්ථා කෙටුම්පතට පසුව සංශෝධන කීපයක් සහිතව සභාවේ අනුමැතිය හිමි විය.

සංගමයේ සභාපති චම්පික ප්‍රනාන්දු, එහි භාණ්ඩාගාරික යොහාන් බාසුර, ජ්‍යෙෂ්ඨ උපසභාපති පාලිත සෙනරත් යාපා, ජාතික සංවිධායක කරුපයියා රාමක්‍රිෂ්ණන්, ජාතික කැඳවුම්කරු ළහිරු සමරසිංහ යන මහත්වරුද අදහස් දැක්වූහ.

එදින විශේෂ මහ සභා රැස්වීමේදී කැපී පෙනුණේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ට අයත් ක්‍රීඩා මාධ්‍යවේදීන් විශාල පිරිසක් සංගමයේ සාමාජිකත්වය සඳහා අයදුම්කර සිටීමය.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් එම අවස්ථාවට විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න මහතා සභාව අමතමින් පැවසුවේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය වඩාත් නිවැරදි මාවතක් කරා ගෙනයාමේ දී  ක්‍රීඩා මාධ්‍යවේදීන් එහි ප්‍රධානතම හා තීරණාත්මක කොටස්කරුවෙකු බවට පත්ව සිටින බවයි.

ඔවුන්ගේ එම කාර්යයට වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය ස්ථාපිතවීමෙන් වඩාත් වටිනාකමක් ලැබී තිබෙන බවත් රටේ ජනතාවගේ නිරෝගිකම පිළිබඳව මේ යුගයේ වඩාත්ම කතාබහට ලක්ව තිබෙන  අවස්ථාවක එදා මෙදාතුර රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ගමන කෙතරම් නිවැරදි තැනකට පැමිණ තිබේදැයි මේ වන විට කල්පනා කර බැලීමට සිදුවී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙසේද පැවැසීය.

පසුගිය වසර 50 ක කාලයේ රටේ ක්‍රීඩාවේ ගමන් මග ගැන කතා කළොත් අපට ඒ පිළිබඳව  සතුටු විය හැකි දැයි අවංකවම සිතා බැලිය යුතුයි.

ඒ නිසා ඉදිරි වසර 50 ක හෝ අඩු තරමින් ඉදිරි වසර 20 ක් තුළ මේ රටේ ක්‍රීඩාව හරිමගට ගන්න රටේ ක්‍රීඩා අමාත්‍යාංශයට හෝ පෞද්ගලික අංශයට පමණක් කරන්න බෑ. ඒ සඳහා වගකිවයුතු සියලු පාර්ශ්වවලට වගකීමක් තිබෙනවා. ඒ වගේම වගකීමක් පැවරෙනවා.

එහෙම අවස්ථාවක දී මා විශ්වාස කරන්නේ වෘත්තීය ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ස්ථාපිතවීම ඊට තීරණාත්මක රුකුලක් වන බවයි. ඒ සඳහා සංගමයට ක්‍රීඩා අමාත්‍යාංශයේ සියලු සහයෝගය ලබාදෙනවා. යැයි පැවසීය.

 


අදහස් (0)

ක්‍රීඩාවට විප්ලවීය වෙනසක් අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.