අභිනවයෙන් ස්ථාපිත කළ ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස “සන්ඬේ ටයිම්ස්” පුවත්පතේ ක්‍රීඩා කර්තෘ චම්පික ප්‍රනාන්දු මහතා නිතරගයෙන් පත්විය. නව සංගමය ස්ථාපිත කිරීමේ මංගල රැස්වීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණි. එම අවස්ථාවට මුද්‍රිත හා විද්‍යුත් ක්‍රීඩා ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගිවූහ.
නව සංගමයේ අභිනව නිලධාරි මණ්ඩලය නිතරගයෙන් පත් විය. ප්‍රධාන ලේකම් ධුරයට මව්බිම පුවත්පතේ ක්‍රීඩා කර්තෘ සිරිනාථ රාජපක්ෂ මහතාත් භාණ්ඩාගාරික ධුරයට “ලංකාදීප” හා “දේශය” ක්‍රීඩා මාධ්‍යවේදී යොහාන් බාසුර මහතාත් පත්වූහ.
නිලවරණය මෙහෙයවීම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි, “සැලසිනේ” ආයතනයේ සභාපති ශාන්ත බණ්ඩාර ජයවර්ධන, ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය නිලධාරි ළහිරු සමරසිංහ යන මහත්වරු මූලාසනයේ සිටිමින් සහයෝගය දැක්වූහ.
නව සංගමයේ “නිල නාමය” ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබුණු අතර එහි සාමාජිකත්වය ලබාදීමේ ව්‍යුහය ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නව නිලධාරි මණ්ඩලය ලබන බ්‍රහස්පතින්දා (30) රැස්වීමට නියමිතය.
නව සංගමය ස්ථාපිත කිරීමේ අවස්ථාවට සහභාගිවූ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා නව සංගමයේ පැවැත්ම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට ප්‍රතිඥා දුන්නේය. නව සභාපති චම්පික ප්‍රනාන්දු මහතා මූලාසනයේ අසුන් ගනිමින් පැවැසුවේ ක්‍රීඩා ජනමාධ්‍යවේදීන් සඳහා තම සංගමය ඉදිරියේදී සුභ සාධන වැඩසටහන් ගණනාවක් හඳුන්වා දෙන බවත් විශේෂයෙන්ම ඔවුන්ගේ වෘත්තිය ගරුත්වය හා පැවැත්ම ආරක්ෂා කිරීම සඳහාත් වැඩි අවධානයක් යොමු කරන බවත්ය.
නව ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අභිනව නිලධාරි මණ්ඩලය
සභාපති - චම්පික ප්‍රනාන්දු මහතා (සන්ඬේ ටයිම්ස්)
ලේකම් - සිරිනාම රාජපක්ෂ මහතා (මව්බිම)
උප සභාපතිවරු - පාලිත සෙනරත් යාපා (ජාතික රූපවාහිනිය), නෙවිල් ඇන්තනී (වීරකේසරී), හසිත අකලංක (ස්වාධීන රූපවාහිනිය), පැතුම් ශ්‍රී විජේරත්න (අද) යන මහත්වරු
උප ලේකම් - සුරේෂි ගුණසේකර මහතා (ජාතික රූපවාහිනිය)
භාණ්ඩාගාරික - යොහාන් භාසුර (ලංකාදීප)
උප භාණ්ඩාගාරික - නුවන් උදාර කරුණාරත්න
ජාතික සංවිධායක - කේ. රාමක්‍රිෂ්ණන් (සිලෝන් ටුඬේ)
කැඳවුම්කරු - ලහිරු සමරසිංහ (ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය නිලධාරී)
කාරක සභාව - අසේල විතාන (දිවයින), මංජුල බස්නායක (ස්වර්ණවාහිනිය), සුනිල් අබේගුණවර්ධන (රංගිරි), ප්‍රසාද් සේනාධීර (රිදම්), සීවලී එදිරිවීර (රිවිර), කමල් සුජීව (ගුවන් විදුලි සංස්ථාව), සුමින්ද ජයසිරි (දෙරණ), කසුන් කැලුම් (නෙත්), චමිල කරවිට (ජනයුගය), රිෂාඞ් මොහොමඞ් (පපරේ) යන මහත්වරු.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.