නාමල් පතිරගේ
කොළඹ රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී අප්‍රේල් 21 වැනිදා පෙරවරු 10 ට පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ නිලවරණය (2026 -28) අවලංගු කළ බව නිලවරණ කමිටුවේ සභාපති, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඩී.ඒ. රුවන් පතිරණ මහතා ඊයේ (10) නිවේදනය කර සිටියේය.
එම නිවේදනයේ දැක් වෙන්නේ 2025 මැයි 21 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට හා කබඩි සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරමින් නිලවරණය අවලංගු කළ බවත් නැවැත එය කැදවෙන දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙන බවත් ය.
එහිදී සභාපති ධූරයට අපේක්ෂකයන් කීප දෙනකුම නාමයෝජනා බාරදී තිබුණි. ඒ සදහා ඉදිරිපත්ව වූ තවත් අපේක්ෂකයන් කීප දෙනකුගේ නාම යෝජනා නිලවරණ කමිටුවෙන් ප්‍රතික්ෂේප විය.
කබඩි නිලවරණය අවලංගු කිරීමට තුඩු දුන් ආසන්නතම කාරණය වන්නේ නාමයෝජනා රැසකට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුවට යොමු කළ විරෝධතා හා අභියාචනා විභාග කිරීම සදහා ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීමටය.
එවැනි අභියාචනයක් විභාග කර අවසන් කිරීම සදහා අවම වැඩ කරන දින 10 ක් ලබා දිය යුතු බව ක්‍රීඩා පනතේ නව වගන්ති සංශෝධනයේ දැක්වේ. කෙසේවූවත් කබඩි නිලවරණයට අදාළව විරෝධතා ඉදිරිපත් වීමේදී නිවාඩු දින ගණනාවක්ම යෙදී තිබෙන බැවින් අප්‍රේල් 21 වැනිදාට පෙර ඒවා විභාග කර අවසන් කිරීම දුෂ්කර කටයුත්තක් බැවින් මෙලෙස නිලවරණය අවලංගු කිරීමට තීරණය වූ බව වාර්තාවේ.
මෙවර කබඩි නිලවරණය සදහා දිස්ත්‍රික් සංගම් 18 ක් හා ක්‍රීඩා සමාජ හතරක් නිර්දේශ ලබා සිටියේය.ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩා සමාජ හා පොලිස් ක්‍රිඩා සමාජය එලෙස කබඩි නිලවරණයේදී ඡන්දය හිමි ක්‍රීඩා සමාජ හතරයි.
යාපනය, මුලතිව්, වවුනියාව,මාතර හා කළුතර යන දිස්ත්‍රික් සංගම් පහක ඡන්ද බලය මෙවර නිලවරණයේදී අහෝසිවී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.