Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කණ්ඩායම් 5 නායකයෝ තෝරති

කණ්ඩායම් 5 නායකයෝ තෝරති

editorial - 2022 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම්හි නායක දසුන් ශානක, උපනායක ධනංජය ද සිල්වා, හිටපු නායක ඇනජලෝ මැතිව්ස්, අෂාන් ප්‍රියංජන් සහ කමිඳු මෙන්ඩිස් නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියට එක්වන කණ්ඩායම් පහේ නායකයන් ලෙස තෝරාගෙන ඇත.

කොළඹ කණ්ඩායම දසුන් ශානකත්, යාපනය කණ්ඩායම ධනංජය ද සිල්වාත්, ගාල්ල කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් විසිනුත්, දඹුල්ල කණ්ඩායම අෂාන් ප්‍රියංජනත්, මහනුවර කණ්ඩායම කමිඳු මෙන්ඩිස් විසිනුත් මෙහෙයවනු ලැබේ.

ප්‍රධාන පුහුණුකරුවන් ලෙස රුවින් පීරිස් මහතා කොළඹ කණ්ඩායමටත්, ජෙහාන් මුබාරක් මහතා ගාල්ල කණ්ඩායමටත්, තිළිණ කණ්ඩම්බි මහතා යාපනයේ කණ්ඩායමටත්, අවිශ්ක ගුණවර්ධන මහතා දඹුල්ල කණ්ඩායමටත්, මලින්ද වර්ණපුර මහතා මහනුවර කණ්ඩායමටත් පත්කර ඇත.

නැෂනල් සුපර් ලීග් (එක්දින) තරගාවලිය අනිද්දා (20 වැනිදා) ආරම්භවීමට නියමිතව තිබුණද ක්‍රීඩකයන්ගේ ඇඳුම් කට්ටල නියමිත වේලාවට සූදානම් කරගැනීමට නොහැකිවීම හේතුවෙන් තරගාවලිය දින 4 ක් කල්දමා තිබේ.  ඒ අනුව කොළඹ, ගාල්ල, යාපනය, දඹුල්ල සහ මහනුවර යන කණ්ඩායම් පහකින් සමන්විත සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය 24 වැනිදා ආරම්භ කෙරෙනු ඇත. 

ඒ ඒ කණ්ඩායම් ප්‍රතිවාදී කණ්ඩායම් වලට එරෙහිව දෙවරක් තරග කරනු ලබන අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක පෙබරවාරි මස 19 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනු ඇත.

පළමු වටයේ තරග කොළඹ එස්.එස්.සී සහ පී.සරා ඕවල් ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙන අතර දෙවැනි වටයේ තරග සහ අවසන් මහා තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන දේශීය තරගාවලියට සහභාගිවන ක්‍රීඩා සමාජ 26 කින් තෝරා ගන්නා ක්‍රීඩකයන් නැෂනල් සුපර් ලීග් තරගාවලියේ කණ්ඩායම් පහ අතර බෙදී යනු ඇත. ඒ අනුව කොළඹ, මහනුවර, යාපනය සහ ගාල්ල යන කණ්ඩායම් සඳහා ක්‍රීඩා සමාජ 5 බැගින්ද, දඹුල්ල කණ්ඩායම සඳහා ක්‍රීඩා සමාජ 6 බැගින්ද බෙදී යනු ඇත.

ජාතික තේරීම් කමිටුව විසින් නැෂනල් සුපර් ලීග් තරගාවලියට එක්වන කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 20 බැගින් තෝරා දෙනු ලැබේ. මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් ගිවිසුම් ගතව ඇති ක්‍රීඩකයන්ට අමතර අදාල කණ්ඩායම් වලට නම්කර ඇති පුහුණුකරුවන් සමගින් එක්ව තවත් ක්‍රීඩකයන් 25 දෙනෙකු තෝරාගනු ලැබේ.

“නැෂනල් සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් ක්‍රීඩකයන්ට වැඩි ප්‍රතිලාභ ලැබෙන බව සහතික කිරීම සඳහා ක්‍රීඩා සමාජ තරග වලදී ගෙවන තරග ගාස්තුවලට වඩා වැඩි ගෙවීමක් කිරීමට අපි උත්සහ කරනවා. ඔවුන්ගේ තරග ගාස්තු අතීතයේ ලබා ගත් මුදලට වඩා ගොඩක් වැඩි වෙනවා. ක්‍රීඩා සමාජ තරග වලදී හොඳින් දස්කම් දක්වමින් නැෂනල් සුපර් ලීග තරගාවලියට එක්වීම සඳහා ඔවුන්ව දිරිමත් කිරීම ප්‍රධාන වශයෙන්ම සිදුවෙනවා” යැයි තරගාවලි කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.

”ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරඟාවලිය හරහා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ක්‍රිකට් හැකියාව සහ ජීවන රටාවේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා මූල්‍යමය වශයෙන් සහය දැක්වීමට අපේක්ෂා කරනවා”

නැෂනල් සුපර් ලීග සීමිත ඕවර තරගාවලිය අවසන් වීමෙන් පසුව, එම කණ්ඩායම් පහම සහභාගී වන සිව්දින ලීග් තරඟාවලිය පෙබරවාරි 25 වන දින ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත. ඊට සමගාමීව නැඟී එන තරගාවලිය (23න් පහළ) තුන්දින තරගාවලියක් ලෙස පැවැත්වේ. එම තරගාවලියට ක්‍රීඩා සමාජ 26 ක් සහභාගී වන අතර එහිදී ක්‍රීඩා සමාජයකට වයස අවුරුදු 24 ට වැඩි සහ 28ට අඩු ක්‍රීඩකයින් දෙදෙනෙකු ක්‍රීඩා කරවීමේ අවස්ථාව හිමිවේ.

තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ බෙදා ඇති ආකාරය
කොළඔ කණ්ඩායම - එස්.එස්.සී, සැරසන්ස්, මීගමුව, සෙබස්තිනයිට්ස්, පොලිස්
මහනුවර කණ්ඩායම - එන්.සී.සී, හලාවත මේරියන්ස්, ඒස් කැපිටල්, ගුවන් හමුදාව, කැන්ඩ කස්ටම්ස්
යාපනය කණ්ඩායම - ද්‍රවිඩ සංගමය, රාගම, ලන්කන්, කළුතර නාගරික, බ්ලූම්ෆීල්ඞ්
ගාල්ල කණ්ඩායම - කෝල්ට්ස්, යුදහමුදාව, පානදුර, ගාල්ල, මූවර්ස්
දඹුල්ල කණ්ඩායම - සී.සී.සී, බී.ආර්.සී, නාවික හමුදාව, බදුරලිය, කුරුණෑගල, නුගේගොඩ


අදහස් (0)

කණ්ඩායම් 5 නායකයෝ තෝරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.