Last Update  :  2026-04-11 13:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පික් මුල් පුටුවට සිවුදෙනෙක් තරග බිමේ

ඔලිම්පික් මුල් පුටුවට සිවුදෙනෙක් තරග බිමේ

editorial - 2026 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

මෙම මස 30 වැනිදා පස්වරු 4 ට ටොරින්ටන් පෙදෙසේ සිය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී (2026-30) සභාපති ධූරයට අපේක්ෂකයන් සිවු දෙනකු නාමයෝජනා භාරදී ඇත.

ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණය සදහා නාමයෝජනා භාර ගැනීම අද (11) දහවල් 12 ට අවසන් කිරීමට නියමිතය.ඒ අනුව සභාපති ධූරය සදහා ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර්, ශ්‍රී ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ සම්මේලනයේ සභාපති ශිරන්ත පීරිස්, ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනයේ සභාපති අසංග සෙනවිරත්න හා ශ්‍රී ලංකා හිම ක්‍රීඩා සම්මේලනයේ සභාපති දේවා හෙන්රි යන මහත්වරුන් එලෙස නාමයෝජනා භාරදී තිබේ.

මේ අතර එහි සෙසු ප්‍රධාන ධූරය වන මහ ලේකම් ධූරය සදහා තරග වදින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනකු වන්නේ වත්මන් මහ ලේකම් රිෆ්ඩි ෆාමි හා ශ්‍රී ලංකා නූතන පංච ප්‍රයාම සම්මේලනයේ වත්මන් සභාපති නිෂාන්ත පියසේන මහතායි.පියසේන මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු උප ලේකම්වරයෙකි.

ශ්‍රී ලංකා තුන් ප්‍රයාම සම්මේලනයෙන් ඉවත්ව ශ්‍රී ලංකා ජල ක්‍රිඩා සංගමයෙන් මෙවර නාමයෝජනා ඉදිරිපත් කර සිටින වත්මන් මහ ලේකම් ෆාමි මහතා සභාපති අපේක්ෂකයන් වන ශිරන්ත පීරිස් හා දේවා හෙන්රි යන පාර්ශව දෙකෙන්ම මහ ලේකම් ධූරයට නාමයෝජනා ඉදිරිපත් කර සිටීම කැපී පෙනේ.එහිදී ඔහු පවසන්නේ තමන් මෙවර නිලවරණයට ඉදිරිපත්ව සිටින්නේ පොදු අපේක්ෂකයකු ලෙස බවයි.

මෙවර සභාපති ධූරයට ඉදිරිපත්ව සිටින අසංග සෙනවිරත්න හා දේවා හෙන්රි යන මහත්වරු වත්මන් විධායක සභාවේ උප සභාපතිවරුන්ද වන අතර සෙනවිරත්න මහතා උප සභාපති ධූරයක් සදහාත් මෙවර නාමයෝජනා භාරදී සිටියි.

මේ අතර වත්මන් සිය විධායක සභාවේ කටයුතු කරන දෙදෙනකු මෙවර සභාපති ධූරයට නාමයෝජනා භාරදී තිබෙන බැවින් නිලවරණයේදී තමන් මධ්‍යස්ථව කටයුතු කිරීමට තීරණය කළ බව ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පවසයි.

ඒ මහතා සභාපති ධූරයේ කටයුතු කළ නිල කාලයන් දෙකක් ව්‍යවස්ථානූකූලව අවසන්ව ඇති බැවින් මෙවර නිලවරණයට ඔහු ඉදිරිපත් නොවේ. ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් නිල කාලය (2021-25) පසුගිය දෙසැම්බර් 27 වැනිදා නිල වශයෙන් අවසන් විය.

එහෙත් එළඹෙන නිලවරණය පවත්වා අවසන් කිරීම සදහා වත්මන් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ ඉල්ලීම පරිදි 2026 අප්‍රේල් 30 වැනිදා දක්වා සහන කාලයක් ලබාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කටයුතු කළේය.

මෙවර නිලවරණය කැඳවෙන අතර වූ විශේෂ සිදුවීම් අතර මහ ලේකම් ධූරය දරමින් සිටි මැක්ෂ්වෙල් ද සිල්වා මහතාට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් තාවකාලිකව තහනමක් පැනවීම හා අනතුරුව ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුව හා විනය කමිටුව ඔහුට එරෙහිව වසර පහක තහනමක් පැනවීම (නිර්දේශ කිරීම) කැපී පෙනේ.

එහිදී අධිකරණය හමුවට ගිය සිල්වා මහතා පසුව නඩුව ඉල්ලා අස් කර ගත්තේය.ඒ අතර කමිටුවේ තනතුරු දරමින් සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් කිපදෙනකුම දූෂණ චෝදනා මත ඉවත් කිරීමත් කමිටුවේ විධායක සභාව හා සාමාජික ජාතික ක්‍රීඩා සංගම් බේදබින්න වී පාර්ශව වලට බෙදීයාමත් කමිටුවේ වත්මන් නිල කාලය අවසන් වෙමින් තිබියදී වූ විශේෂ සිදුවීම්  ලෙස සැලකිය හැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණ විශ්‍රාමලත් විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා ජාතික ඔලිම්පික් කමිටු නිලවරණ මෙහෙයුම් කමිටුවේ සභාපති ධූරයේ කටයුතු කරයි.


අදහස් (0)

ඔලිම්පික් මුල් පුටුවට සිවුදෙනෙක් තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.