Last Update  :  2026-02-03 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු තරගාවලියට ශ්‍රී ලංකාව සූදානම්

ආසියානු තරගාවලියට ශ්‍රී ලංකාව සූදානම්

editorial - 2026 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

හොංකොංහිදී අගෝස්තු 7 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන 14 වැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකාවේ සූදානම ආරම්භ කරමින් මෙම 21 - 22 මූලික තේරීම් තරග පැවැත්වීමට ශ්‍රී ලංකා දැල්පන්දු (නෙට්බෝල්) සම්මේලනය තීරණය කර තිබේ.

එහිදී ජාතික දැල්පන්දු පුහුණුකරු ධූරයට සුදුස්සකු පත් කර ගැනිම සදහා අයැදුම්පත් කැදවීමටත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සේවය සදහා විදේශීය පුහුණු  උපදේශකවරියක් කැදවීමටත් තීරණයවී තිබේ.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ඉකුත් ජනවාරි 22 වැනිදා පැවැති නිලවරණයෙන් තේරී පත්වූ නව විධායක සභාව සභාපතිනී වජිරා නෙත්තිකුමාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පළමු වරට රැස් විය.

මීළග ආසියානු තරගාවලිය සදහා ශ්‍රී ලංකාවේ සූදානම මේ වන විටත් ප්‍රමාදවී තිබෙන බැවින් ඒ සදහා හැකි ඉක්මණින් සුදානම් වීමේ අවශ්‍යතාව විධායක සභාවේ සාකච්ඡාවී තිබේ.ජාතික (මූලික) දැල්පන්දු සංචිතය නිර්දේශ කෙරෙන ඉහත තේරීම් (විවෘත) පෙබරවාරී 21 - 22 යන දිනවල පෙරවරු 7 සිට ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඒ සදහා ඕනෑම දැල්පන්දු ක්‍රීඩිකාවකට සහභාගි විය හැකි බව දැල්පන්දු සම්මේලනය පවසයි.නව දැල්පන්දු විධායක සභාව එදින රැස්වීමේදී ගත් තීරණයන්ට අනුව ජාතික දැල්පන්දු තරගාවලිය මාර්තු 22 - 23 යන දිනවල මාතරදී පැවැත්වීමට දැනට සැලසුම් කර තිබේ.

දැල්පන්දු සම්මේලනයේ නව විධායක සභා රැස්වීමේදී ගත් තීරණයන් පිළිබදව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනී වජිරා නෙත්තිකුමාර මහත්මිය ලංකාදීප යට මෙසේ පැවසුවාය.

"දැල්පන්දු සම්මේලනයේ කටයුතු මුල ඉදලාම පටන් ගන්න වෙලා.ඒකට හේතුව පසු ගිය අවුරුදු කීපය පුරා එහි සැලසුම් නැති වැඩ පිළිවෙලයි.ඒ ගැන කතා කරලාත් වැඩක් නෑ.විගණනයකටත් යන්න වෙයි.අපේ පළමු ඉලක්කය ආසියානු කුසලාන තරගාවලියයි.ඒ සදහා ඉක්මන් ක්‍රියාමාර්ග කීපයක් ගන්න අපි ක්‍රීඩා ඇමැතිවරයාගෙන් විශේෂ අවසරයක් ගන්නත් බලාපොරොත්තු වෙනවා."

මෙවර ආසියානු දැල්පන්දු තරගාවලිය ශ්‍රී ලංකාවට වඩාත් තීරණාත්මක වන්නේ එහි ශූරතාව හා අනුශූරතාව ලබන කණ්ඩායම් දෙක වසර 2027 සිඩ්නි ලෝක දැල්පන්දු කුසලාන තරගාවලියට ආසියානු කලාපයෙන් නිර්දේශ ලබා ගන්නා බැවිනි.ඒ සදහා ශ්‍රී ලංකාව අවම එළඹෙන ආසියානු දැල්පන්දු තරගාවලියේ අවසන් මහ තරගයට නිර්දේශ ලබා ගත යුතුව ඇත.

අවසන් වරට බැංගලෝර් නුවරදී පැවැති 2024 තරගාවලියේදී ශ්‍රී ලංකාව අනු ශූරතාව ලැබීය.1989, 1997, 2001, 2009, 2018, 2022 යන වසරවලදී ශ්‍රී ලංකාව තරගාවලියේ ශූරතාව දිනා තිබේ.1985, 2012, 2014, 2016 යන වසර වලදී පැවැති තරගාවලි වලදී ශ්‍රී ලංකාව අනුශූරතාව හිමි කර ගෙන තිබේ.

අවසන් වරට පසුගිය දෙසැම්බර්1 වැනිදා  සිදු කළ අලුත්ම ලෝක දැල්පන්දු (කාන්තා) ශ්‍රේණිගත කිරීම් අනුව රටවල් 54 කින් ශ්‍රී ලංකාව 23 වැනි ස්ථානයේ පසුවේ.කලාපයේ ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ප්‍රතිවාදිනිය වන වත්මන් ආසියානු ශූරියන් වන සිංගප්පූරුව 24 වැනි ස්ථානයේත් පසුවේ.එම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකේ පසු වෙන්නේ ඕස්ට්‍රේලියාවයි.

නව දැල්පන්දු පරිපාලනය පත්වීමට පෙර ක්‍රිඩා අමාත්‍යාංශය විසින් පත් කළ නව ජාතික දැල්පන්දු තේරීම් කමිටුවේ සභාපතිනිය ලෙස එහි හිටපු සභාපතිනියක් වන පද්මා බැද්දේවිතාන මහත්මිය කටයුතු කරයි.


අදහස් (0)

ආසියානු තරගාවලියට ශ්‍රී ලංකාව සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.