Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අඩ සියවසක් ක්‍රිකට් වෙනුවෙන් කැප වූ බන්දුල වර්ණපුර

අඩ සියවසක් ක්‍රිකට් වෙනුවෙන් කැප වූ බන්දුල වර්ණපුර

editorial - 2022 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වූ බන්දුල වර්ණපුර  මහතාගේ පළමු වන ගුණානුස්මරණය අදට (17 වැනිදා) යෙදේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

දකුණු අප්‍රිකාව බලා ගිය කැරලිකාර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ, නායකයා ඔහු විය. එසේම ඔහු සටන්කාමියකු ද විය.

ඔහු ඔහුගේ සගයන් වෙනුවෙන් සහ අරමුණ වෙනුවෙන් සටන් කළ අයෙකි. ඔහුගේ දේශපාලන දැක්ම, සැමදෙනාගේම යහපත වෙනුවෙනි. කොතරම් අසීරු වුවත්, ඔහු ඔහුගේ ඉලක්කය වෙනුවෙන් ශක්තිමත්ව, ස්ථාවරව ඉදිරියට පිය මැන්නේය. ජීවිත කාලයම ක්‍රිකට් ක්‍රීඩාවට වෙනුවෙන් කැප කරමින්, ක්‍රිකට්වලට ඇලී ගැලී, ක්‍රිකට් කළමනාකරණ කටයුතු වෙනුවෙන් සිය පූර්ණ දායකත්වය ලබා දීමට හෙතෙම සමත් විය.

2021 ඔක්තෝබර් 17 වැනිදා ජීවිතයෙන් සමුගනිද්දී, බන්දුල වර්ණපුර, ක්‍රිකට් ක්‍රීඩා පිටියෙන් සමුගෙන සිටියේය. ඔහු ඔහුගේ අවසන් ටෙස්ට් තරගයට සහභාගී වූයේ අවුරුදු 39 ක් සහ එක් මාසයකට පෙරය.  1963 වසරේ දී නාලන්ද විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙද්දී ඔහුගේ වයස අවුරුදු 10 කි. එදා සිට 2021 තෙක් ගණන් බැලු‍වොත්, ඔහු අවුරුදු 58 ක කාලයක් ක්‍රිකට් වෙනුවෙන් ජීවිතය කැප කර ඇත.

අවුරුදු 14 දී නාලන්ද විදුහ‍ල් පිලේ ආරම්භක පිතිකරුවෙකු ලෙස සිය මංගල තරගයට සහභාගී වූ වර්ණපුර, ශාන්ත පීතර  විද්‍යාලයට එරෙහිව ශතකයක් රැස් කළේ අනාගතයේ දක්ෂ ක්‍රිකට් තරුවක් බවට පත්වන බවට ඉඟි කරමිනි. වර්ණපුර,මුලින්ම ජාතික අවධානය දිනා ගත්තේ වයස අවුරුදු 16 දීය. ඒ,ඔහු ඉන්දීය සංචාරයක් සඳහා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනීමත් සමඟය. ඔහු ලකුණු 392ක් ලබා ගත්තේ සාමාන්‍යය 78.40ක් ලෙසිනි.

ඉන්දියාවට එරෙහිව, 1979 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගවලියේදී ශ්‍රී ලංකා පිල සුවිශේෂී ජයග්‍රහණයක් කරාගෙන යෑමට වර්ණපුරට හැකිවිය. ඒ, කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අනුර තෙන්නකෝන් ඊට සහභාගි නොවූ තත්වයක් යටතේය. ශ්‍රී ලංකා ක්‍රිකට් පිල, ලෝකයේ අවධානය ලක් කිරීමට එම ජයග්‍රහණය හේතු වූවා පමණක් නොව, ඉන්දීය පිල අබිබවා යමින්, ශ්‍රී ලංකා පිල තරගාවලිය අවසන් කළේ කාණ්ඩයේ අංක තුනට පත්වෙමිනි.

ප්‍රථම ටෙස්ට් තරගයේදී නායකත්වය දීමේ ගෞරවය වර්ණපුරට හිමි වූ අතර, වර්ණපුරගේ නායකත්වය යටතේ, කණ්ඩායමේ සෑම ක්‍රීඩකයකුට, ක්‍රීඩා කුසලතා දැක්වීමට සුදුසු වාතාවරණයක් සැකැසිණි. කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරාගැනීම, 80 දශකයේ මුල් භාගයේ පාසල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැති නමුත් 1996 වනවිට පිට පළාත් පාසල් රැසකටද ඒ සඳහා අවස්ථාව උදාවිය.

දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදය පැවැති සමයේ, අන්තර් ජාතික ක්‍රිකට් තහනම නොතකා දකුණු අප්‍රිකාව බලා ගිය කැරලිකාරි අරෝසා පිලට වර්ණපුර ද ඇතුළත් විය. 1970 දශකයේ නාලන්දාවෙන් බිහිවුණු ක්‍රීකට් විරුවන් ලෙස ලලිත් කළුපෙරුම (33), අනුර රණසිංහ (25), හේමන්ත දේවප්‍රිය, සුසන්ත කරුණාරත්න (23) හා බන්දුල වර්ණපුර (29) ඒ ගමනට එක්වූහ. එයින් ශ්‍රී ලංකා ජාතික පිලට විශාල පාඩුවක් විය. මේ පිරිස නාලන්දා විදුහලේ ක්‍රිකට් ක්‍රීඩකයන් පුහුණු කළ ජෙරී ගුණරත්න, ලයනල් සහ නෙල්සන් මෙන්ඩිස් සහෝදරයන්ගේ මෙන්ම ප්‍රේමසර ඈපාසිංහ යන මහත්වරුන් කාලයක් තිස්සේ කළ කැපවීමේ සහ මහන්සියේ ප්‍රතිඵලයකි.

මේ කාලයේ ‘බන්දු’ සහ ක්‍රිකට් මණ්ඩලය අතර පැවති සබඳතාව යහපත් එකක් නොවීය. ඔහු ක්‍රීඩාව හා ක්‍රීඩකයන් වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි විප්ලවකාරයකු ලෙස බලධාරින් අතර හැඟීමක් ගොඩ නැඟී තිබුණි. එදා ඔහුට මෙන්ම, ටෝනි ඕපාතගේ ඉල්ලීම මත ඒ ගමන යාමට එකඟව සිටි තරුණ අර්ජුන රණතුංගට ඔහු දුන් ප්‍රකට උපදේශය වූයේ මෙයයි.
පොඩිඑකා, නුඹ අපිත් එක්ක එන්න එපා. නුඹ මෙහේ දිගටම ක්‍රිකට් සෙල්ලම් කරන්න. එයින් කියැවුණේ ඔහු ඒ ගමන ගියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට හානියක් කිරීමට නොව, දැන් මෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෙවීම් නොකළ, ඒ කාලයේ ආර්ථික වශයෙන් ප්‍රතිලාභාපේක්ෂාවෙන් බව පැහැදිලි වෙයි.

1991 දී, පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමඟ ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස එක්වූ ඔහුතම සෙවණට ආ ළාබාල ක්‍රීඩකයින්ට ඔවුන්ගේ සිහින හඹා යාමට උපකාර කළේය. එසේම ඔහු යළිත් ඔහුගේ ප්‍රියතම බ්ලූම් ෆීල්ඞ් සමාජයට එක් වී 1992/93 වසරවලදී ඒ ක්‍රිකට් පිලට නායකත්වය දුන්නේය.  

වර්ණපුර පසුව පුහුණු කිරීම, ක්‍රිකට් පරිපාලනය පිළිබඳ විශේෂඥයෙක් විය. කළමනාකරු, පුහුණුකරු ලෙස සේවය ආරම්භ කළ ඔහු අවසානයේ ශ්‍රීලංකා ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂවරයා බවටද පත්විය.

බන්දු අසාමාන්‍ය ලෙස දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූවා පමණක් නොව, දූර දර්ශී ජනතා හිතවාදී නායකයෙකි. බන්දුල වර්ණපුර වැනි සටන්කාමීන් ක්‍රිකට් ක්‍රීඩාවටත් රටටත් තවත්  බිහිවේවා.

උපුල් ගමගේ
නාලන්දා විදුහලේ 50 වැනි ක්‍රිකට් නායකයා
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ හිටපු සභාපති.


අදහස් (2)

අඩ සියවසක් ක්‍රිකට් වෙනුවෙන් කැප වූ බන්දුල වර්ණපුර
  • අනුර සාළිය පීරිස් Monday, 17 October 2022 11:07 AM

    බන්දුල වර්ණපුර නාලන්දාවට ක්‍රීඩාකරන කාලෙය්දී ඔහු අපට වඩා අවුරුදු 3ක් පමණ ජේෂ්ඨ වූ අතර අපේ පාසල් කාලයේ වීරයෙක්ම විය. පාසලේදී ඔහු සමග කතාබහ කිරීමට අපට වැඩි අවස්ථාවක් නොලද නමුත් මා පාසල් කාලයෙන් පසු එක්වූ ආයතනයේ බන්දුල අයියා තළමණාකරුවෙකු ලෙස සේවය කළ බැවින් ඔහු සමග ආශ්‍රය කිරීමට වැඩි අවස්ථාවක් ලදීමි. ඔහු තුළ තිබූ මහත්මා ගතිගුණ සහ නායකත්වයේ උතුම් ගුණාංග ආයතනයේ සේවක සැමගේ පැසසුමට ලක්වනු දුටුවෙමි. අති විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු, නායකයෙකු, මෙන්ම උතුම් මනුෂ්‍යයෙකුද වු බන්දුල වර්ණපුර සොයුරාට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි. බන්දුල අයියා පිළිබඳව මතක සටහන් තබමින් ඉතාමත්ම ලස්සනට ලිපිය අකුරු කල මා මිත්‍ර උපුල් ගමගේ සොයුරාට ස්තූතිය පිරිණමමි.

    Reply 0       0

    Saman Deshapriya Monday, 17 October 2022 01:47 PM

    විශිෂ්ඨ ලිපියක්...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.