ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කතෝලික පාසල් දෙකක් වන ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර 84 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය හෙවත් ‘ශාන්තුවරයන්ගේ සංග්‍රාමය’ මාර්තු මස 2 සහ 3 දෙදින පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙවර පැවැත්වෙන 84 වැනි ශාන්තුවරයන්ගේ සංග්‍රාමයේදී ශාන්ත ජෝශප් විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ජෙහාන් ඩැනියල්ට හිමිවී ඇති අතර ශාන්ත පීතර විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සන්තුෂ් ගුණතිලකට බාරවී ඇත. මේ දෙදෙනාම ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයෝ වෙති.
දෙවිදුහල් අතර මේ දක්වා මහ ක්‍රිකට් තරග 83 ක් පවත්වා ඇති අතර ශාන්ත ජෝශප් විද්‍යාලය තරග 12 ක් ද ශාන්ත පීතර විද්‍යාලය තරග 10 ක් ද ජය ලබා තිබේ. තරග 61 විසදුමකින් තොරව අවසන්වී ඇත.
අවසන් වරට රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්වයෙන් 2008 වසරේදී ශාන්ත ජෝශප් විදුහල ජයගත් අතර 2016 වසරේදී විනූ මොහොට්ටිගේ නායකත්වයෙන් ශාන්ත පීතර විදුහල ජයගැනීමට සමත්විය.
ශාන්ත ජෝශප් විදුහල මෙම තරග වාරයේ තරග 15 කට ක්‍රීඩා කරමින් යාපනය ශාන්ත පැටි්‍රක්, කොළඹ ඩී.එස්.සේනානායක, කඳාන ද මැසිනොද් සහ මරදාන සහිරා යන විදුහල් වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ හිමිකරගෙන ඇත. පළමු ඉනිමේ ජයග්‍රහණ තුනක්ද හිමිකරගත් ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිමේ පරාජයන් දෙකකටද මුහුණ දී තිබේ. තරග හයක් විසදුමකින් තොරව අවසන්වී ඇත.
රේවන් කෙලී මෙම තරග වාරයේදී ලකුණු 1072 ක් රැස්කරමින් මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේදී ශාන්ත ජෝශප් විදුහල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා මෙන්ම තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවාද වෙයි. මෙවර පාසල් තරගවාරයේදී ලකුණු 1000 සම්පූර්ණ කළ පළමු සහ එකම පිතිකරුවාද වන්නේද රේවන්ය.
ලක්ෂාන් ගමගේ (604), නිපුන් සුමණසිංහ (597), ජොහින් ද සිල්වා (508) ලකුණු 500 සිමාව පසුකළ සෙසු පිතිකරුවෝ වෙති.
අශීන් ඩැනියල් මෙම තරග වාරයේ කඩුලු 61 ක් දවා ගැනීමින් ශාන්ත ජෝශප් විදුහල් පිල වෙනුවෙන් මෙවර තරගාවලියේදී වැඩිම කඩුලු දවාගත් පන්දුයවන්නා බවට පත්වී ඇත. දුමිත් වෙල්ලලාගේ (59), ලක්ෂාන් ගමගේ (40) සහ සාලින්ද සෙනෙවිරත්න (20) ශාන්ත ජෝශප් විදුහල් පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරන සෙසු පන්දු යවන්නෝ වෙති.
ශාන්ත ජෝශප් විදුහල් වෙනුවෙන් ක්‍රීඩා කළ ඈෂ්ලි ද සිල්වා, චමින්ද වාස්, මයිකල් වැන්ඩොට්, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, දිමුත් කරුණාරත්න සහ රොෂේන් සිල්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩාකළහ.
ශාන්ත පීතර විදුහල මේ වනවිට මෙම තරග වාරයේ තරග 18 කට ක්‍රීඩා කරමින් වත්තල ශාන්ත අන්තා්නි, කැලණිය ගුරුකුළ, ගාල්ල රිච්මන්ඞ්, මාතර සාන්ත සර්වේශස් සහ මහනුවර ධර්මරාජ විදුහල් වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ හිමිකරගෙන තිබේ. පළමු ඉනිමේ ජයග්‍රහණ හයක් හිමිකරගෙන ඇති ශාන්ත පීතර විදුහල පළමු ඉනිමේ පරාජයන් හතරකට සහ පූර්ණ පරාජයන් තුනකටද මුහුණ දී තිබේ. තරගයක් විසදුමකින් තොරව අවසන්වී ඇත.
ශලිත් ප්‍රනාන්දු ලකුණු 671 ක් රැස්කරමින් මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේදී ශාන්ත පීතර විදුහල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වී ඇති අතර රංමිත් ජයසේන (631), සංතුෂ් ගුණතිලක (577) සහ ශැනන් ප්‍රනාන්දු (528) ලකුණු 500 සිමාව පසුකළ සෙසු පිතිකරුවෝ වෙති.
අමීන් මිෆ්ලාන් කඩුලු 95 ක් දවා ගනිමින් මෙවර තරග වාරයේදී ශාන්ත පීතර විදුහල වෙනුවෙන් ඉහළ දක්ෂතා දැක්වූ පන්දු යවන්නා බවට පත්වී සිටී. සචින් සිල්වා (65) මෙවර තරග වාරයේදී කඩුලු අතර සිටින අනෙක් පන්දු යවන්නා විය.
ශාන්ත පීතර විදුහල නියෝජනය කළ ක්‍රීඩකයන් අතුරින් රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, විනෝදන් ජෝන්, අමල් සිල්වා, රසල් ආර්නල්ඞ්, කෞශාල් සිල්වා, මලින්ද වර්ණපුර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩාකළ ක්‍රීඩකයෝ වෙති.
84 වැනි ‘ශාන්තුවරයන්ගේ සටන’ මහ ක්‍රිකට් තරගයට ප්‍රධාන අනුග්‍රහය දැක්වීමට ඩයලොග් ආසියාටා සමාගම තෙවැනි වරටත් ඉදිරිපත්ව සිටී. සම අනුග්‍රහකයන් ලෙස සිලෝන් කෝල්ඞ් ස්ටෝස්, කීල්ස් කේ-රෙස්ට්, නෙස්ලේ සහ ජෙට්වින් කලම්බෝ සෙවන් හෝලටය එක්ව සිටියි.
|
|
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.