නාමල් පතිරගේ
උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවරදී පැවැති ආසියානු ඔලිම්පික් සභාවේ 46 වැනි මහා සභා රැස්වීමට සමගාමීව එහිදීම පැවැති දකුණු ආසියානු ඔලිම්පික් සම්මේලන විධායක සභා රැස්වීමේදී ගත් තීරණයන්ට අනුව පාකිස්තානයේ ලාහෝර් නුවර සත්කාරය දරන මීළගට යෙදෙන 14 වැනි දකුණු ආසියානු (සාග්) ක්‍රීඩා උළෙල වසර 2027 ජනවාරි 23 සිට 31 වැනිදා දක්වා එහිදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ටෂ්කන්ට් විධායක සභා රැස්වීම සදහා ශ්‍රී ලංකාව ඇතුළුව බංග්ලාදේශය, භූතානය,ඉන්දියාව,මාලදිවයින, නේපාලය, පකිස්ථානය යන කලාපයේ සියලුම රටවල ඔලිම්පික් කමිටු නියෝජිතයෝ සහභාගි වූහ.ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊට ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් මහ ලේකම් රිෆ්ඩි ෆාමී,එහි ක්‍රීඩකයන්ගේ කමිටුවේ සභාපති නිලූක කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
වසර 2019 දී 16 වැනි සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය පාකිස්තානයට ප්‍රදානය කිරීමෙන් පසුව එය දිගින් දිගටම කල් දැමීමෙන් මෙතෙක් එය පැවැත්වීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථකවී තිබේ.ඒ අතර අවසන් වරට මෙම වසරේ ජනවාරී 10 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට ගත් උත්සාහයත් ඉන්දියාව හා පාකිස්තානයේ එදිරිවාදීකම් උත්සන්න වීමෙන් අත් හිටුවනු ලැබීය.
මීළඟ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබා ඇති පාකිස්තානු ජාතික ඔලිම්පික් සංගමයේ ප්‍රධානීන් සහ දකුණු ආසියානු ඔලිම්පික් සහාවේ සභාපති අරිෆ් සයීඩ්,පාකිස්තානයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ෆෙඩරල් ලේකම් මොහයුද්දීන් අහමඩ් වානි යන මහත්වරුන් සමග පැවැති ටෂ්කන්ට් හමුවේදී අදාළ එකතාවයට පැමිණ තිබේ.
ලාහෝර්, ඉස්ලාමාබාද්, ෆයිසලාබාද්, කරච්චි යන පාකිස්තානයේ ප්‍රධානතම නගර කේන්ද්‍ර කර ගනිමින් මෙම ක්‍රිඩා උළෙල සංවිධානය කෙරේ.පාකිස්තානයේ උත්සහයවී ඇත්තේ වසර 37 කට පසුව කලාපයේ ප්‍රධානතම ක්‍රීඩා උළෙල එරටදී සංවිධානය කිරීමය.මීට පෙර 1989 ඉස්ලාමාබාද් නුවර සත්කාරකත්වයෙන් පාකිස්තානය අවසන් වරට සාග් ක්‍රීඩා උළෙල පවත්වා තිබේ.
දැනට යෝජනාවී ඇති පරිදි ලාහෝර් ක්‍රීඩා උළෙලට ක්‍රීඩා ඉසව් 27 ක් නිර්දේශ කර තිබේ.ඊට විස්සයි - 20 ක්‍රිකට් (කාන්තා හා පිරිමි) ඉසව්වද ඇතුළත් වේ.
අවසන් වරට කත්මන්දු නුවරදී 2019 පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සහභාගිත්වයේ වියදම් ලෙස රුපියල් කෝටි 30 කට (276,840,000) ආසන්න වියදමක් දක්වා තිබුණි.ඒ සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පරිවාර නිලධාරීන්ද ඇතුළත් සංචාරක සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.