Last Update  :  2025-12-02 11:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මිනුවන්ගොඩ ජනාධිපති ක්‍රීඩකයෝ III වැනි කොටසේ ශූරතාව දිනාගනිති
17න් පහළ ක්‍රිකට්

මිනුවන්ගොඩ ජනාධිපති ක්‍රීඩකයෝ III වැනි කොටසේ ශූරතාව දිනාගනිති

editorial - 2025 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින්  සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 17න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට  මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය සමත්විය. මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය මෙම ශූරතාව දිනාගත්තේ තරගාවලිය පුරාම අපරාජිතව සිටිමිනි.

පාසල් කණ්ඩායම් 348 ක් අතුරින් මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය සහ අනුරාධපුර ශාන්ත ජෝශප්  විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලබාගත්හ. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී  මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය විසින් අනුරාධපුර ශාන්ත ජෝශප්  විද්‍යාල පිල කඩුලු 6 කින් පරදවමින් ශූරතාව දිනාගන්නා ලදි.

කාසියේ වාසිය හිමිකරගත් අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාල පිල පළමුව පන්දුවට පහර දුන්නේය. ශාන්ත ජෝශප් ඉනිම ඕවර 45.3 කදී ලකුණු 166 කට සීමා කිරීමට ජනාධිපති පන්දු යවන්නෝ සමත්වූහ. ශාන්ත ජෝශප් පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු මනුල මන්සර පන්දු 78 කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 53ක් රැස් කළේය. මනුල මන්සර සහ නඳුන් ධනේෂ් (23) තම ඉනිමේ දෙවැනි කඩුල්ලට ලකුණු 60 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.  ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් නෙතුල් මෙත්මික සහ සෙනුර ජනුත් කඩුලු 3ක් බැගින් දවාලූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ  මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය ඕවර 41.5 කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 167 ක් රැස් කළේය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු නෙතුල් මෙත්මික පන්දු 27කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 49 ක් රැස් කළේය. ආරම්භක පිතිකරුවන් වූ නෙතුල් මෙත්මික සහ නිවිෂ්ක ෂෙනාල් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක සම්බන්ධතාවයක් ගොඩනැඟූහ. සෙනුර ජනුත් (37) සහ බිහඳු කිත්නුල (නොදැවී 28) සිව්වැනි කඩුල්ලට ලකුණු 59 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ජයග්‍රහණයට දායකවූහ.

ශූරතාව දිනූ මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය සහ අනු ශූරතාව හිමිකරගත් අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලය යන කණ්ඩායම් දෙකම ඉදිරි තරගවාරයේ සිට වයස අවුරුදු 17න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට උසස් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන අංශයේ ප්‍රධානී කමල් ධර්මසිරි, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපති සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ විදුහල්පති සුසන්ත මෙන්ඩිස්, මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති එස්.එම්.යූ.එන්. සුබසිංහ සහ අනුරාධපුර ශාන්ත ජෝශප්  විද්‍යාලයේ විදුහල්පති අජිත් අමරජීව යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්  ජය සංකේත ප්‍රදානය සිදු කෙරිණි.

 

අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලය - ඕවර 45.3 කදී 166 යි
(මනුල මන්සර 53, නදුන් ධනේෂ් 23, පන්සිළු නෙත්සර නොදැවී 22, නෙතුල් මෙත්මික 24/3, සෙනුර ජනුත් 34/3)

මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය - ඕවර 41.5 කදී කඩුලු 4 ට 167 යි
(නෙතුල් මෙත්මික 49, සෙනුර ජනුත් 37, බිහඳු කිත්නුල නොදැවී 28, සෙතුක මුණසිංහ 36/2)


අදහස් (0)

මිනුවන්ගොඩ ජනාධිපති ක්‍රීඩකයෝ III වැනි කොටසේ ශූරතාව දිනාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.