Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර ටස්කර්ස් - දඹුල්ල ලයන්ස් මිලදී ගන්න හිටි අය කට්ටි පනිති

මහනුවර ටස්කර්ස් - දඹුල්ල ලයන්ස් මිලදී ගන්න හිටි අය කට්ටි පනිති

යොහාන් භාසුර - 2020 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් දෙකක් වන ‘දඹුල්ල ලයන්ස්’ සහ ‘මහනුවර ටස්කර්ස්’ යන කණ්ඩායම් මිලදීගැනීමට සූදානම්ව සිටි පුද්ගලයන් කරහැරීම නිසා තරගාවලි සංවිධායකයින් දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්ව සිටින බව වාර්තා වේ. තරගාවලියේ සංවිධායක අයිතිය හිමි පෞද්ගලික සමාගම ඊයේ (13) පස්වරුව වන විටත් එම කණ්ඩායම් දෙක අළෙවි කිරීමට උත්සාහ කරමින් සිටි බව වාර්තා වේ.

මහනුවර ටස්කර්ස් පිල ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ සොහොයුරා විසින් මිලදී ගත් බව මීට පෙර වාර්තා විය. කෙසේ වෙතත් ඔහු මේ වන විට එම අදහස අතහැර දමා ඇති බව දැනගන්නට තිබේ.

තරගාවලිය සම්බන්ධයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ මෙම කණ්ඩායම් දෙකේ හිමිකාරකත්වය පිළිබඳව ගැටලුවත් ඇති බවට තමන්ට ද දැනගන්නට ලැබී තිබුණ ද නිල වශයෙන් දැනුවත්ව නොමැති බවයි.

“එහෙම ප්‍රශ්නයක් තිබුණත් අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. තරගාවලියේ සංවිධායක අයිතිය හිමි ආයතන ඒ පිළිබඳව කටයුතු කළ යුතුයි” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මහනුවර ටස්කර්ස් පිලේ නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ පෙර නිලධාරීන් තමන් සමඟ මේ දක්වා සම්බන්ධතා පවත්වන බවයි. මහනුවර පිලට එහි හිමිකරුවන්ගේ පෞද්ගලික සම්බන්ධීකරණයෙන් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ක්‍රීඩා කරන බව මීට පෙර එම කණ්ඩායමේ නිලධාරියකු පැවසීය. එහෙත් හිමිකරුවන් ඉවත් වීම හේතුවෙන් ක්‍රිස් ගේල් එල්.පී.එල්. තරගාවලියට සහභාගි වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බව ක්‍රිකට් ක්ෂේත්‍රයේ කථා බහට ලක්ව තිබේ.

මහනුවර පිලේ දේශීය ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටු 40 ක පමණ ගිවිසුම් ලිපියක් ලබාදී ඇති බවත් දැනගන්නට තිබේ.
 
තරගාවලියේ සංවිධාන කටයුතු කරන විට ‘දඹුල්ල හෝක්ස්’ ලෙස නම් කර තිබූ කණ්ඩායම ඉන්දීය ජාතිකයකු මිලදී ගත් පසු ‘දඹුල්ල ලයන්ස්’ ලෙස නම සහ නිල ලාංඡනය වෙනස්කර තිබුණි.


අදහස් (0)

මහනුවර ටස්කර්ස් - දඹුල්ල ලයන්ස් මිලදී ගන්න හිටි අය කට්ටි පනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.