Last Update  :  2026-03-27 19:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තේරීම් පරීක්ෂණය කෝළාහලයක් වෙයි

තේරීම් පරීක්ෂණය කෝළාහලයක් වෙයි

editorial - 2026 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

වතුපිටිවල ගෘහස්ථ පිටියේදී ජාතික වොලිබෝල් සංචිතයේ තේරීම් (පිරිමි) පරීක්ෂණය පැවැති අවස්ථාවේදී ප්‍රධාන පුහුණුකරු කාලික වසන්තප්‍රිය මහතා තේරීම්වලට බලපෑම් කරමින් තමන්ට පහරදීමට තැත් කළ බවට ජාතික වොලිබෝල් තේරීම් කමිටුවේ සාමාජිකා මංගලිකා වසන්ති කුමාරී මහත්මිය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට පැමිණිලි කර තිබේ.

ඒ පිළිබදව වොලිබෝල් සම්මේලනයට ලිපියක් යොමු කරන ඇය එහිදී ඒ සම්බන්ධයෙන් නිට්ටඹුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද පවසයි.

පන්දු ඔසවන්නකු වන මලීෂ රවීෂාන් සංචිතයට නිර්දේශ කර ගැනීමට සිය තේරීම් කමිටුවේ බහුතර කැමැත්ත තිබියදී පුහුණුකරුගේ අභිමතය පරිදී එහි සභාපතිනි උදේනී ප්‍රියදර්ශනී මහත්මිය වෙනත් පන්දු ඔසවන්නන් සිව් දෙනෙකුගේ නම් ප්‍රකාශයට පත් කළ බවත් එයින් මලීෂ රවිෂාන් ක්‍රීඩකයාට අසාධාරණයක් සිදුවූ බවත් වසන්ති කුමාරී මහත්මිය සිය ලිපියෙන් අවධාරණය කර තිබේ.

මෙම සිදුවීම පිළිබදව ‘ලංකාදීප’ ය කළ විමසුමකදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති මහින්ද බන්ඩාර මහතා පැවැසුවේ ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ගෙන්වා විනය පරීක්ෂණයක් සිදු කරන බවයි.

කෙසේවූවත් තේරීම් පරීක්ෂණයේදී ඇතිවූ බව කියන මෙම නොසන්සුන් තත්වය වාර්තාවීමෙන් පසුව වොලිබෝල් සම්මේලනය තේරීම් කමිටුවට උපදෙස්දී ඇත්තේ ප්‍රධාන පුහුණුකරුගෙන් ලිඛිත ප්‍රකාශයක් ලබා ගෙන තේරීම් සිදු කරන ලෙසයි.

මේ අතර ප්‍රධාන පුහුණුකරු කාලික වසන්තප්‍රිය මහතා එම ප්‍රකාශය ලබා දෙමින් පෙන්වාදී ඇත්තේ විදේශීය පුහුණුකරු විසින් උස ක්‍රීඩකයන් නිර්දේශ කිරීමට ලබාදී තිබෙන උපදෙස් අනුව තමන් කටයුතු කළ බවත් කළහාකාරී හැසීරීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත්ය.

මෙම සිදුවීමේදී තේරීම් කමිටු සභාපතිනියගේ හැසිරීම තමන් හෙළා දකින බවත් මලීෂ රවිෂාන් ක්‍රීඩකයාට සාධාරණයක් ඉටු කර දෙන ලෙසත් ඇය සිය ලිපියෙන් වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයාගෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.


අදහස් (0)

තේරීම් පරීක්ෂණය කෝළාහලයක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.