Last Update  :  2025-04-30 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජනාධිපති කුසලාන අර්ධ අවසන් පූර්ව තරග සෙනසුරාදා - ඉරිදා
ජනාධිපති කුසලාන රග්බි

ජනාධිපති කුසලාන අර්ධ අවසන් පූර්ව තරග සෙනසුරාදා - ඉරිදා

editorial - 2025 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග එළබෙන සෙනසුරාදා (3 වැනිදා) සහ ඉරිදා (4 වැනිදා) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී සහ හැව්ලොක් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

එහිදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව මරදාන සහිරා විදුහලත්, මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලත් සෙනසුරාදා තරග වදින අතර කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව කොළඹ රාජකීය විදුහලත්, කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව කොළඹ ඉසිපතන විදුහලත් ඉරිදා තරග වැදීමට නියමිතය. 

අර්ධ අවසන් පූර්ව වටයට පිසිවීමට පෙර මූලික වටයේදී ශාන්ත පීතර විදුහල හමුවේ කොළඹ තර්ස්ටන් විදුහලත්, සහිරා විදුහල හමුවේ මහනුවර විද්‍යාර්ථ විදුහලත්, ත්‍රිත්ව විදුහල හමුවේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලත්, සාන්ත තෝමස් විදුහල හමුවේ ගල්කිස්ස විද්‍යා විදුහලත් පරාජයට පත් විය. 

මහනුවර ධර්මරාජ විදුහල පරාජය කරමින් ඩී.එස්. සේනානායක විදුහලත්, මහනුවර කින්ස්වුඩ් විදුහල පරාජය කරමින් රාජකීය විදුහලත්, මරදාන ශාන්ත ජෝෂප් විදුහල පරාජය කරමින් වෙස්ලි විදුහලත්, මහනුවර ශ්‍රී සුමංගල විදුහල පරාජය කරමින් ඉසිපතන විදුහලත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. 

පළමු සහ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගවල ජයග්‍රාහකයන් අතර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මැයි මස 9 වැනිදා රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. තෙවැනි සහ සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගවල ජයග්‍රාහකයන් අතර තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ මැයි මස 11 වැනිදා හැව්ලොක් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදීය. 

අවසන් පූර්ව තරගවලදී ජය ලබන කණ්ඩායම් අතර ජනාධිපති කුසලාන සඳහා වන තරගාවලියේ අවසන් මහ තරගය මැයි මස මස 17 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම සියලුම තරග පස්වරු 4.15 ආරම්භ කිරීම සඳහා සංවිධායකයෝ කටයුතු යොදා ඇත. 


අදහස් (0)

ජනාධිපති කුසලාන අර්ධ අවසන් පූර්ව තරග සෙනසුරාදා - ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.