Last Update  :  2026-04-24 12:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තැන සෙසු ක්‍රීඩකයන්ටත් දෙනවා

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තැන සෙසු ක්‍රීඩකයන්ටත් දෙනවා

editorial - 2026 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ක්‍රිකට් ක්‍රීඩකයන් අත් කර ගෙන තිබෙන ගෞරවය හා ඉහළ තත්වය රටේ සෙසු ක්‍රීඩා වලට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද හිමි කර දීමේ වට පිටාවක් සකස් කිරීම ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට තරග වදින තමාගේ ප්‍රමුඛතම අභිප්‍රායක් වන බව සභාපති අපේක්ෂක ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි.

ජාතික ඔලිම්පික් කමිටුවේ පවතින ව්‍යවස්ථාව එහි සාමාජිකත්වයට වඩාත් හිතකර ආකාරයෙන් සංශෝධනය කිරීම එහිදී තමාගේ තවත් අපේක්ෂාවක් වන බවත් ඔහු එහිදී පැවැසුවේ කෝට්ටේ කිඹුලාවල පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය (2026-30) හෙට (25) පස්වරු 4 ට කොළඹ  ටොරිංටන් පෙදෙසේ එහි ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන් පිරිසක්ද සභභාගි වූ මෙම මාධ්‍ය හමුවේදී ජස්වර් උමාර් මහතා මෙසේද පැවැසීය.

”‍ඔලිම්පික් නිලවරණයට ඉදිරිපත් වෙන්න මට තරම් වෙන කිසිම අපේක්ෂකයකුට බාධා ඇතිවුණේ නෑ.නමුත් නිලවරණ කමිටුව වගේම ආසියානු ඔලිම්පික් සභාවත් මට එරෙහිව ඉදිරිපත්වූ ඒ සියලු විරෝධතා ඉවත දැම්මා.දැන් තවත් එක් කෙනෙක් පැමිණිල්ලක් අරන් ක්‍රීඩා අමාත්‍යාංශයට ගිහින්.ඒ එකකින් වත් මගේ මේ ගමන නවත්වන්න බෑ.

”‍ක්‍රිකට් ක්‍රීඩකයන්ට රටේ හිමි පිළිගැනීම ,ගෞරවය පදක්කම් දිනා ගෙන එන වෙනත් ක්‍රීඩා ඉසව් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි වෙනවාද කියන එක ගැටළුවක්.ඒ නිසා  මානසික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙනුත් ඔවුන්ගේ කඩා වැටීමක් දක්නට ලැබෙනවා.

මේ තත්වයේ වෙනසක් රටේ ඇති කරන්න පුළුවන් සංවිධානයක් තමයි ජාතික ඔලිම්පික් කමිටුව කියන්නේ.ඒ සදහා මුල පුරන්න පත්වීමෙන් පසුව මම බලාපොරොත්තු වෙනවා.

පාපන්දු ආයතනයේ සභාපතිවරයා හැටියට මට පසුගිය කාලයේ පුළුවන් වුණා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර වශයෙන් යම් ඉහළ තැතකට රැගෙන එන්න.මම කටයුතු කරන්නේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමගයි.ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අතර සමීප සබදතාවයක් ගොඩ නැගී තිබෙනවා.

ඒ පාර්ශව දෙකටම සම්බන්ධ වීමෙන් රටේ සමස්ත ක්‍රීඩා ක්ෙෂ්ත්‍රයටම ජාත්‍යන්තර වශයෙන් වඩාත් පුළුල් සේවාවක් ලබා ගැනීමට හැකි යයි මම විශ්වාස කරනවා.මගේ පත්වීමෙන් පසුව ජාතික ඔලිම්පික් කමිටුවේ නව විධායක සභාවත් හවුල් කර ගනිමින් ශක්තිමත් සම්බන්ධ්කරණයක් ඒ සදහා ඇති කර ගන්නවා”‍

ජස්වර් උමාර් මහතා එහිදී වැඩි දුරටත් අවධාරණය කළේ ඔලිම්පික් ක්‍රීඩා ඉසව් ප්‍රවර්ධනය කිරීමේ එක් පියවරක් ලෙස දිවයිනේ පාසල් තුළ ජාතික ඔලිම්පික් කමිටුවේ සම්බන්ධිකරණයෙන් ඔලිම්පික් සමාජ පිහිටුවීමට කටයුතු කරන බවයි.

ඔලිම්පික් කමිටුවේ යහ පාලනය හා විනිවිදභාවය යළි ස්ථාපිත කිරීම, වයවස්ථාපිත අනුකූලතාවය හා වගවීම ශක්තිමත් කිරීම, ක්‍රීඩකයාට මුල්‍ය සම්පත් අනුග්‍රහය, නිරන්තර සංවාදය තුළින් පාලනය ගෙන යාම, අනුග්‍රහය හා යටිතල පහසුකම් ගොඩ නැගීම, සාධාරණත්වය හා විශිෂ්ටත්වය පිළිඹිබු කිරීම තුළින් ක්‍රීඩකයා පළමු කොට තැබීමත් ජාතික ක්‍රීඩා සංගම් ඒ වටා ඒකරාශි කිරීමත් යන නව ක්‍රීඩා සංස්කෘතියක් තුළට ජාතික ඔලිම්පික් කමිටුව හැඩ ගැස්වීම සිය පළමු සිවු වසරක පාලනයේ අරමුණ වන බව ජස්වර් උමාර් මහතා පවසයි.

මහ ලේකම් අපේක්ෂක, ශ්‍රී ලංකා නූතන පංච ප්‍රයාම සම්මේලනයේ සභාපති නිෂාන්ත පියසේන මහතාද එහිදී අදහස් දැක්වීය.


අදහස් (0)

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තැන සෙසු ක්‍රීඩකයන්ටත් දෙනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.