Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කන්ද උඩරට නිල් මහ සටන හෙට - අනිද්දා

කන්ද උඩරට නිල් මහ සටන හෙට - අනිද්දා

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ත්‍රිත්ව විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර 101 වැනි ‘කන්ද උඩරට නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය 16 සහ 17 යන දිනවලදී මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දෙවිදුහල් අතර පැවැත්වෙන මෙම මහ ක්‍රිකට් තරගය 1914 වසරේදී ආරම්භ වූ අතර මෙතෙක් පැවති තරගවලදී ජයග්‍රහණ 23 ක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහලත්, ජයග්‍රහණ 11 ක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහලත් සමත්ව සිටියි.

ත්‍රිත්ව විදුහල අවසන් වරට නිල් මහ සටන ජයගෙන ඇත්තේ 2012 වසරේදී නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වය යටතේය. ඒ වසර 26 කට පසුය. දික්වැල්ලට පෙර ත්‍රිත්ව විදුහල පූර්ණ ජයග්‍රහණයක් කරා මෙහෙයවනු ලැබ ඇත්තේ 1986 වසරේදී තුෂාර වීරසූරිය විසිනි. 1992 වසරේදී උමේෂ් ද අල්විස්ගේ නායකත්වය යටතේ ලැබූ ජයග්‍රහණයෙන් පසුව නැවතත් නිල් මහ සටනෙන් ජය ලැබීමට ශාන්ත අන්තෝනි විදුහල සමත්ව නැත.

මේ වසරේදී නවසීලන්තයේ පැවති වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ හසිත බෝයගොඩ, මෙවර මහ ක්‍රිකට් තරගයේදී ත්‍රිත්ව විදුහල් කණ්ඩායමේ නායකත්වය දරයි. ලෝක කුසලාන තරගාවලියේ කෙන්යාවට එරෙහිව පැවැති තරගයේදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ බෝයගොඩ, පන්දු 152 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 28 ක් සමග ලකුණු 192 ක් රැස්කිරීමට සමත් විය. එය වයස 19 න් පහළ ජාත්‍යන්තර තරගයකදී ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක් විය.

මෙවර තරගවාරයේදී ත්‍රිත්ව විදුහල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින්නේ ශතකයක් සහ අර්ධ ශතක 6 ක් සමගින් ලකුණු 780 ක් රැස්කරගෙන සිටින හසින්ත ජයසූරියයි. උප නායක ටේ‍රවෝන් වීරසූරියද ලකුණු 600 සීමාව ඉක්මවා යමින් ත්‍රිත්ව කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරයි.

වමතින් මඳ වේගපන්දු යවන ක්‍රීඩක තිසරු දිල්ෂාන් ත්‍රිත්ව විදුහලේ ප්‍රධානතම පන්දු යවන්නා ලෙස හැඳින්විය හැකිය. ඔහු වයස 19 න් පහළ ජාතික කණ්ඩායමද නියෝජනය කළ ක්‍රීඩකයෙකි. දඟපන්දු යවන ක්‍රීඩකයන් වන විමුක්ති නෙතුමාල් සහ කවිෂ්ක සේනාධීරද කඩුලු 60 බැගින් දවාගනිමින් ත්‍රිත්ව කණ්ඩායමේ පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවෙති.

තුන් ඉරියව් ක්‍රීඩක ජනිදු හිම්සරගේ නායකත්වය යටතේ ශාන්ත අන්තෝනි විදුහල් කණ්ඩායම මෙවර මහ තරගයට සහභාගි වෙයි. ශතක 2 ක් සමගින් ලකුණු 600 සීමාව ඉක්මවා යෑමට සමත්ව සිටින මැදපෙළ පිතිකරු සතීෂ් වික්‍රමආරච්චි, මෙවර තරග වාරයේදී ශාන්ත අන්තෝනි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්ව සිටියි. සුනේර ජයසිංහ, ඩියෝන් ස්ටව්ටර් සහ මොහොමඞ් අබ්සාර් යන ක්‍රීඩකයෝ තවදුරටත් අන්තෝනි පිතිකරණ බලඇණිය ශක්තිමත් කරති.

මෙවර තරග වාරයේදී කඩුලු 50 සීමාව ආසන්නයට පැමිණ සිටින නිම්නක ජයතිලක අන්තෝනි කණ්ඩායමේ ප්‍රධානතම පන්දු යවන්නා ලෙස හැඳින්විය හැකිය. සසිත් හිම්දික කඩුලු 35 ක්ද, ගිහාන් අචින්ත කඩුලු 25 ක්ද දවාගනිමින් අන්තෝනි පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවෙති.

මෙවර තරග වාරයේදී පූර්ණ ජයග්‍රහණ 6 ක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත්ව ඇති අතර ශාන්ත අන්තෝනි විදුහල ලබා ඇති පූර්ණ ජයග්‍රහණ සංඛ්‍යාව 9 කි. ත්‍රිත්ව විදුහල මාතර ශාන්ත සර්වේශස්, කොටහේන ශාන්ත බෙනඩික්, වේයන්ගොඩ බණ්ඩාරනායක, මොරටු විද්‍යාලය, කොළඹ වෙස්ලි සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් යන විදුහල් වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලබා තිබේ. ශාන්ත අන්තෝනි විදුහල පූර්ණ ජයග්‍රහණ ලබා ඇත්තේ කොළඹ වෙස්ලි, හොරණ තක්ෂිලා, මහනුවර කිංග්ස්වුඞ්, කුරුණෑගල ශාන්ත ආනා, පානදුර රාජකීය, මහනුවර ධර්මරාජ, බලපිටිය රේවත, කළුතර විද්‍යාලය සහ මරදාන සහිරා යන විදුහල්වලට එරෙහිවය.

කුමාර් සංගක්කාර, රවී රත්නායක, ග්‍රැහැම් ලැබ්රෝයි, කෞෂල්‍ය වීරරත්න සහ නිරෝෂන් දික්වැල්ල ත්‍රිත්ව විදුහලෙන්ද, මුත්තයියා මුරලිදරන්, මහේෂ් ගුණතිලක, පියල් විජේතුංග, මාලන් වොන්හාග්ට්, රුවන් කල්පගේ සහ සජිත් ප්‍රනාන්දු ශාන්ත අන්තෝනි විදුහලෙන්ද ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් දිනාගත් ක්‍රීඩකයෝ වෙති.


ත්‍රිත්ව විදුහල් සංචිතය
හසිත බෝයගොඩ (නායක), ටේ‍රවෝන් වීරසූරිය (උප නායක), තිසරු දිල්ෂාන්, හසින්ත ජයසූරිය, විමුක්ති නෙතුමාල්, පුබුදු බණ්ඩාර, අවිෂ්ක සේනාධීර, කවිෂ්ක සේනාධීර, රුවින් පීරිස්, අශාන් ලොකුකැටිය, අභිෂේක් ආනන්දකුමාර්, චානුක කුමාරසිංහ, හිමංග සූරියම්පොළ, නරේන්ද්‍රනාත් අසෝක් කුමාර්, උවිඳු ඉමල්දන, ජෙෆ් වීරසිංහ, කාවින්ද ජයසූරිය මහතා (පුහුණුකරු) සහ ධම්මික කුලසූරිය මහතා (ක්‍රීඩා භාර අචාර්ය)


ශාන්ත අන්තෝනි විදුහල් සංචිතය
ජනිදු හිම්සර (නායක), තීක්ෂ ගුණසිංහ (උප නායක), සුනේර ජයසිංහ, ඩියෝන් ස්ටව්ටර්, මොහොමඞ් අබ්සාර්, ජමාෂණ අබේකෝන්, නවෝද්‍ය විජයකුමාර්, කල්හාර සේනාරත්න, ගිහාන් අචින්ත, සතීෂ් වික්‍රමආරච්චි, නිම්නක ජයතිලක, සසිත් හිම්දික, මොහොමඞ් කමිල්, ගයාන් සමරසිංහ, සවින් වීරසිංහ, ප්‍රමුදිත පණ්ඩිතරත්න, සම්පත් පෙරේරා මහතා (පුහුණුකරු) සහ ලෙනින් ජයසිංහ මහතා (ක්‍රීඩා භාර අචාර්ය)

ශාන්ත අන්තෝනි විදුහල් සංචිතය

ත්‍රිත්ව විදුහල් සංචිතය

 


අදහස් (0)

කන්ද උඩරට නිල් මහ සටන හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.