
ප්‍රංශ පාපැදි සවාරියේ 10 වැනි අදියර ජයගැනීමට බ්‍රිතාන්‍යයේ මාර්ක් කැවෙන්ඩිෂ් ඊයේ (6 වැනිදා) සමත් විය. ඇල්බට්විල් නගරයේ සිට වේලන්ස් නගරය දක්වා කිලෝ මීටර් 190.7 ක දුරකින් සමන්විත වූ එම අදියර නිමා කිරීම සඳහා කැවෙන්ඩිෂ්ට ගත වූ කාලය පැය 4 යි, විනාඩි 14 යි, තත්ත්පර 07 කි.
තිස්හය වැනි වියේ පසුවන කැවෙන්ඩිෂ්, ප්‍රංශ පාපැදි සවාරියක අදියරක් ජයගත් 33 අවස්ථාව මෙයයි. ඒ අනුව ඔහු එදා මෙදා තුර ප්‍රංශ පාපැදි ඉතිහාසයේ වැඩිම අදියර සංඛ්‍යාවක් ජයගෙන සිටින බෙල්ජියමේ එඩී මර්ක්ස්ගේ (අදියර 34) වාර්තාව සම කිරීම සඳහා තවත් එක් අදියර ජයක් පසුපසින් සිටියි.
මේ වන විට පාපැදි සවාරියේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස කොළ පැහැති බැනියමටද හිමිකම් කියන කැවෙන්ඩිෂ් මින් පෙර පැවැති සිවුවැනි සහ හයවැනි අදියරවල ජයග්‍රාහකයාද වේ. වේගවත්ම ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටින ඕස්ට්‍රේලියාවේ මයිකල් මැතිව්ස් සහ ඉතාලියේ සොනී කොල්බ්‍රෙලි පිළිවෙලින් කැවෙන්ඩිෂ්ට වඩා ලකුණු 59 ක් සහ 82 ක් පසුපසින් සිටිති.
කැවෙන්ඩිෂ්ගේ වේලාවම වාර්තා කරමින් ඔහු සමග එක පොකුරේ පැමිණ තරගය නිමා කළ බෙල්ජියමේ වවුන් වැන්එර්ට් සහ ජැස්පර් පිලිප්සන් පිළිවෙලින් දෙවැනියා සහ තෙවැනියා ලෙස 10 වැනි අදියර නිමා කළහ. එහිදී පළමු ස්ථාන 10 ට පත්වූ සෙසු ක්‍රීඩකයන්ද කැවෙන්ඩිෂ් සමග එක පොකුරේ තරගය නිමා කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය.
10 වැනි අදියර ජයගැනීමට කැවෙන්ඩිෂ් සමත් වුවද, තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ රැක ගැනීමට ස්ලෝවේනියාවේ ටඩෙජ් පොගාකාර් සමත්ව සිටියි. ඒ අනුව ඔහු අද (7 වැනිදා) තරගයේ 11 වැනි අදියර සඳහාද කහ පැහැති බැනියම පැලඳ තරග වදිනු ඇත. මේ දක්වා පැවැති අදියර 10 නිමා කිරීම සඳහා පොගාකාර්ට පැය 38 යි, විනාඩි 25 යි, තත්ත්පර 17 ක කාලයක් ගත වී ඇත.
පොගාකාර්ට වඩා විනාඩි 2 යි තත්පර 01 ක් පසුපසින් සිටින ඕස්ට්‍රේලියාවේ බෙන් ඕ'කෝනර් සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර පොගාකාර්ට වඩා විනාඩි 5 යි, තත්පර 18 ක් පසුපසින් සිටින කොලොම්බියාවේ රිගෝබර්ටෝ යුරන් එහි තෙවැනි ස්ථානයේ රැදී සිටියි.
නමවැනි අදියරේ ජයග්‍රාහකයන්
1 මාර්ක් කැවෙන්ඩිෂ් (බ්‍රිතාන්‍යය) - පැය 4:14:07
2 වවුන් වැන්එර්ට් (බෙල්ජියම) - පැය 4:14:07
3 ජැස්පර් පිලිප්සන් (බෙල්ජියම) - පැය 4:14:07
4 නසර් බුහානි (ප්‍රංශය) - පැය 4:14:07
5 මයිකල් මැතිව්ස් (ඕස්ට්‍රේලියාව) - පැය 4:14:07
6 මයිකල් මාර්කොව් (ඩෙන්මාර්කය) - පැය 4:14:07
7 ඇන්ඩ්‍රි ග්‍රිපල් (ජර්මනිය) - පැය 4:14:07
8 පීටර් සාගන් (ස්ලෝවැකියාව) - පැය 4:14:07
9 ඇන්තනී ටර්ගිස් (ප්‍රංශය) - පැය 4:14:07
10 සීස් බෝල් (නෙදර්ලන්තය) - පැය 4:14:07
සමස්ත තරගයේ ප්‍රතිඵලය
1 ටඩෙජ් පොගාකාර් (ස්ලෝවේනියාව) - පැය 38:25:17
2 බෙන් ඕ'කෝනර් (ඕස්ට්‍රේලියාව) - පැය 38:27:18
3 රිගෝබර්ටෝ යුරන් (කොලොම්බියාව) - පැය 38:30:35
4 ජොනාස් වින්ජ්ගාඩ් (ඩෙන්මාර්කය) - පැය 38:30:49
5 රිචඩ් කරපාස් (ඉක්වදෝරය) - පැය 38:30:50
6 එන්රික් මාස් (ස්පාඤ්ඤය) - පැය 38:31:04
7 විල්කෝ කෙල්ඩර්මන් (නෙදර්ලන්තය) - පැය 38:31:15
8 ඇලෙක්සි ලුට්සෙන්කෝ (කසකස්තානය) - පැය 38:31:29
9 ගුයිලූම් මාටින් (ප්‍රංශය) - පැය 38:32:19
10 ඩේවිඩ් ගවුඩු (ප්‍රංශය) - පැය 38:32:39
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.