Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආදරවන්තයන්ගේ සටනට සියල්ල සූදානම්

ආදරවන්තයන්ගේ සටනට සියල්ල සූදානම්

Nisanka Sandeepani - 2018 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර පැවැත්වෙන 113 වැනි ‘ආදරවන්තයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය හෙට සහ  (16 වැනිදා) සහ අනිද්දා (17 වැනිදා) යන දිනවලදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

මෙම මහ ක්‍රිකට් තරගය 1905 වසරේදී ආරම්භ වූ අතර මෙතෙක් පැවති තරගවලදී විදුහල් දෙකම ජයග්‍රහණ 23 බැගින් අත්කර ගෙන මේ වන විට කරට කර තත්ත්වයක පසුවෙයි. රිච්මන්ඞ් විදුහල අවසන් වරට 2015 වසරේදී සිතාර ගිම්හාන්ගේ නායකත්වය යටතේ ‘ආදරවන්තයන්ගේ සටන’ ජයගත් අතර මහින්ද විද්‍යාලය අවසන් වරට ඉන් ජය ලැබුවේ 2008 වසරේදී රජිත් ප්‍රියාන්ගේ නායකත්වය යටතේය. 

මෙවර පාසල් තරගවාරයේදී තරග 12 කට සහභාගී වූ රිච්මන්ඞ් විදුහල, ඉන් මාතර ශාන්ත සර්වේශස්, මාතර ශාන්ත තෝමස්, පන්නිපිටිය ධර්මපාල, අම්බලන්ගොඩ ධර්මාශෝක, කුරුණෑගල මලියදේව සහ කොළඹ වෙස්ලි යන විදුහල්වලට එරෙහිව පැවැති තරග 6 ජයගැනීමට සමත් විය. එහිදී ඔවුන් පරාජයට පත් වූයේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව පැවති තරගය පමණි. 

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ ධනංජය ලක්ෂාන්, මෙවර ආදරවන්තයන්ගේ සටනට සහභාගි වන රිච්මන්ඞ් කණ්ඩායමේ නායකත්වය දරන අතර ඔහු  කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසද කටයුතු කරයි. කුරුණෑගල මලියදේව විදුහලට එරෙහිව රැස්කළ ලකුණු 154 ත් සමග මෙවර තරගවාරයේදී ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 500 ට ආසන්න වේ. 

වත්මන් ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස්, මෙවර රිච්මන්ඞ් කණ්ඩායමට ක්‍රීඩා කරන ප්‍රබලම මෙන්ම ප්‍රවීණම ක්‍රීඩකයා බවට පත්ව සිටියි. ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කිරීම හේතුවෙන් කමිඳුට මෙවර මෙවර පාසල් තරගවාරයේදී සිය පාසල නියෝජනය කිරීමට හැකිවූයේ තරග 5 කදී පමණි. එහිදී ශතක 4 ක්ද සමගින් ලකුණු 600 සීමාව ඉක්මවා යෑමට ඔහු සමත් විය. 

තුන් ඉරියව් ක්‍රීඩක අවිඳු තීක්ෂණ උප නායකයා ලෙසින් රිච්මන්ඞ් කණ්ඩායමට එක්ව සිටින අතර ලකුණු 700 සීමාව පසුකර සිටින ආදිත්‍ය සිරිවර්ධන කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ලෙස හැදින්විය හැකිය. රිච්මන්ඞ් කණ්ඩායමේ ප්‍රධානතම පන්දු යවන්නා ලෙස සැලකෙන්නේ දකුණතින් දඟපන්දු යවන ක්‍රීඩක සඳුන් මෙන්ඩිස්ය. මේ දක්වා පැවැති තරග වලදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 65 කි. දිලුම් සුධීරද ලකුණු 500 සීමාව ඉක්මවා යමින් සහ කඩුලු 60 ක් දවාගනිමින් රිච්මන්ඞ් කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත්ව සිටියි. 

මෙවර පාසල් තරගවාරයට සහභාගි වූ කණ්ඩායම් අතුරින් අපරාජිත කණ්ඩයමක් ලෙස මහින්ද විදුහල මෙවර ආදරවන්තයන්ගේ සටනට සහභාගි වෙයි. එහිදී කඳාන ද මැසිනොද්, කොළඹ ලුම්බිණි, මාතර ශාන්ත තෝමස්, මහනුවර ශාන්ත සිල්වෙස්ටර්, පන්නිපිටිය ධර්මපාල, කොළඹ සහිරා සහ කුරුණෑගල මලියදේව යන විදුහල්වලට එරෙහිව පැවැති තරගවලින් ජය ලැබීමට මහින්ද විදුහල සමත් විය. 

මෙවර ආදරවන්තයන්ගේ සටනේදී මහින්ද විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක රෙෂාන් කාවින්දට හිමිව තිබේ. කණ්ඩායමේ ආරම්භක වේග පන්දුවන්නා ලෙස කටයුතු කරන රෙෂාන් මෙතෙක් පැවැති තරග වලදී ලකුණු 400 සීමාව ඉක්මවා යෑමටද සමත්ව සිටියි. 

උප නායක විනුර දුල්සර මහින්ද කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ලෙස හැඳින්විය හැකි අතර මෙවර තරග වාරයේදී ඔහු රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 910 කි. ආරම්භක පිතිකරු නවෝද් පරණවිතානද ශතක 3 ක් සමගින් ලකුණු 830 ක් ලබාගෙන මහින්ද විදුහල් පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරයි. 

මහින්ද කණ්ඩායමේ අපරාජිත බව රැකගැනීම සඳහා තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ කවිඳු එදිරිවීර මේ වනවිට ලකුණු 800 සහ කඩුලු 50 සීමාවන් පසුකර යෑමට සමත්ව සිටියි. මෙවර තරග වාරයේදී කඩුලු 70 ක් දවාගෙන සිටින වමතින් දඟ පන්දුයවන ක්‍රීඩක පසන් පෙතන්ගොඩ කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා ලෙස හැදින්විය හැකිය. 

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළ වේගපන්දු යවන ක්‍රීඩක නිපුන් මාලිංග සහ කේ.කේ. කෙවින්ද මෙවර කණ්ඩායමට ඇතුළත්ව සිටීම මහින්ද විදුහලේ ශක්තිය තවත් වැඩි කරනු ඇත. 

රිච්මන්ඞ් විදුහල වෙනුවෙන් චම්පක රාමනායක, චමිල ගමගේ, සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංගද, මහින්ද විදුහල වෙනුවෙන් ජයනන්ද වර්ණවීර, අතුල සමරසේකර, උපුල් චන්දන සහ ලසිත් මාලිංගද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් දිනාගත් ක්‍රීඩකයෝ වෙති. 

රිච්මන්ඞ් විදුහල් සංචිතය 

ධනංජය ලක්ෂාන් (නායක), අවිඳු තීක්ෂණ (උප නායක), කමිඳු මෙන්ඩිස්, සුගීත් නිමනද, තවීෂ අභිෂේක්, දුවින් කලංසූරිය, ආකාශ් කාවින්ද, විමුක්ති රත්නායක, සඳුන් මෙන්ඩිස්, විනුජ කිරිඇල්ල, අම්සි ද සිල්වා, ආදිත්‍ය සිරිවර්ධන, දිලුම් සුධීර, චමත් දිල්සර, විශ්මිත විජේසිරි, ධම්මික සුදර්ශන මහතා (පුහුණුකරු) සහ එස්.ආර්. නානායක්කාර මහතා (ක්‍රීඩා භාර ආචාර්ය) 

මහින්ද විදුහල් සංචිතය 

රෙෂාන් කාවින්ද (නායක), විනුර දුල්සර (උප නායක), නවෝද් පරණවිතාන, අශාන් කණ්ඩම්බි, හංසික වැලිහිඳ, අසේල ප්‍රියදර්ශන, සුභානු රාජපක්ෂ, කේ. කේ. කෙවින්, කමිඳු එදිරිසිංහ, නිපුන් මාලිංග, ප්‍රමිත් තෙවරප්පෙරුම, පසන් පෙතන්ගොඩ, කවිඳු එදිරිවීර, ලහිරු භාෂණ, අශේන් ශාමික, අනිල් රිදීගම්මනගෙදර මහතා (පුහුණුකරු) සහ අරවින්ද රත්නායක මහතා (ක්‍රීඩා භාර ආචාර්ය) 

රිච්මන්ඞ් විදුහල් කණ්ඩායම

මහින්ද විදුහල් කණ්ඩායම

 


අදහස් (0)

ආදරවන්තයන්ගේ සටනට සියල්ල සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.