Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International සූර්යකුමාර්ගේ ශතකය අපතේ යයි

සූර්යකුමාර්ගේ ශතකය අපතේ යයි

editorial - 2022 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට එරෙහිව නොටිංහැම්හි ට්‍රෙන්ට්බ්‍රිජ් ක්‍රීඩාංග‍ණ‍යේදී ඊයේ (11 වැනිදා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 17 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙම තරගය ජයගැනීමට එංගලන්තය සමත් වුවද, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම‍ට ඕවර 20 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 198 ක් පමණි. එහිදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 14 ක් සමග පන්දු 55 කින් ලකුණු 117 ක් රැස්කිරීමට සූර්යකුමාර් යාදව් සමත් වුවද, සහායට කිසිවකු නොසිටීම හේතුවෙන් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

ලකුණු 31 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී ශ්‍රෙයාස් අයියර් (28) සමග එක්ව පන්දු 62 කදී ලකුණු 119 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද යාදව් සමත් වූ අතර පන්දු 23 කදී වාර්තා වූ අයියර්ගේ ඉනිමට හයේ පහර 2 ක් ඇතුළත් විය. කෙසේ වුවත් සෙසු පිතිකරුවන් සියලු දෙනාම පා‍හේ අසාර්ථක වීම ඉන්දීය කණ්ඩායමේ පරාජයට බෙහෙවින්ම බලපෑවේය.  

දක්ෂ පන්දු යැවීමක නිරත වූ රීස් ටොප්ලි සිය ඕවර 4 ලකුණු 22 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේය. ඉන්දිය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ක්‍රිස් ජෝඩාන් සහ ඩේවිඩ් විලී කඩුලු 2 බැගින් බිඳහෙළූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 215 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ඩේවිඩ් මලාන් පන්දු 39 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 77 ක් රැස්ළේය. ලයෑම් ලිවිංග්ස්ටන් (නොදැවී 42) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මලාන් සමත් විය.

පන්දු 29 කට මුහුණදුන් ලිවිංග්ස්ටන් හයේ පහර 4 කින් සිය ඉනිම සැරසීය. ජේසන් රෝයි පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 27 ක්ද, නායක ජොස් බට්ලර් පන්දු 9 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 18 ක්ද, හැරී බෘක් පන්දු 9 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 19 ක්ද රැස්කරමින් එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 215
(ජේසන් රෝයි 27, ජොස් බට්ලර් 18, ඩේවිඩ් මලාන් 77, ලයෑම් ලිවිංග්ස්ටන් 42, හැරී බෘක් 19, රවී බිෂෝනි 30/2, හර්ෂාල් පටේල් 35/2)


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 198
(සූර්යකුමාර් යාදව් 117, ශ්‍රෙයාස් අයියර් 28, රීස් ටොප්ලි 22/3, ක්‍රිස් ජෝඩාන් 37/2, ඩේවිඩ් විලී 40/2)


-036


අදහස් (0)

සූර්යකුමාර්ගේ ශතකය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.