Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International සතුට රැගෙන ෆින්ච් ඇතුළු පිරිවර එයි
සිංහ - කැන්ගරු සටන

සතුට රැගෙන ෆින්ච් ඇතුළු පිරිවර එයි

editorial - 2022 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

බෙහෙවින්ම අවිනිශ්චිත වාතාවරණයක, සංචාරකයන් පවා ශ්‍රී ලංකාවට පැමිණීම කල්දමමින් පසුවන යුගයක, නිර්භය තීරණයකට පිවිසි ඒරන් ෆින්ච් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු කණ්ඩායම, ශ්‍රී ලාංකිකයන්ට සතුටත්, බලාපොරොත්තුවත් රැගෙන, දිවයිනට පැමිණ සිටී. මාස එක හමාරකට ආසන්න කාලයක් දිවෙන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරගාවලිය විස්සයි-20 තරග 3කින්, එක්දින තරග 5 කින් මෙන්ම ටෙස්ට් තරග දෙකකින්ද සමන්විතය.

ඊට අමතරව ඕස්ටේ්‍රලියානු ඒ කණ්ඩායමද මෙම කාලසීමාවේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙමින් පළමු පෙළ තරග 2 කට සහභාගි වෙයි.

තරගාවලිය ආරම්භ කිරීමට පොරතුවම, ඕස්ට්‍රේලියානු සීමිත ඕවර කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච් පැවසූයේ ශ්‍රී ලාංකිකයන් මුහුණ දී සිටින අසීරු කාලසීමාවකදී, ශ්‍රී ලාංකිකයන්ට සතුට රැගෙන තමන් ඇතුළු ඕස්ටේ්‍රලියානු කණ්ඩායම පැමිණි බවයි.

ශ්‍රී ලංකාව, ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් හොඳ පොහොසත් ආයතනයකි.

ක්‍රීඩා අමාත්‍යංශය මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බැවින්, ලබන මාසයේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම යැවීමටත් රුපියල් ලක්‍ෂ 225 ක් ක්‍රීඩා අමාත්‍යංශයට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය පසුගිය බ්‍රහස්පතින්දා පියවර ගත්තේය.

එපමණක් නොව, සමස්ත ශ්‍රී ලංකාවම විදුලි අර්බුදයකට මුහුණ දී සිටියදීත්, විස්සයි-20 රාත්‍රී තරග 3 ක් සහ දිවා/රාත්‍රී එක්දින තරග 5 ක් පැවැත්වීමට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ විදුලි ජනක යන්ත්‍ර ලබාගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

කෙසේ වෙතත් රූපවාහිනී විකාශන අයිතීන් වෙනුවෙන් ඕස්ටේ්‍රලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයෙන් ඩොලර් මිලියන 3 කට (රුපියල් බිලියනයකට) ආසන්න මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබේ. අනෙක් අතට ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් මෙහි පැමිණෙන ක්‍රිකට් ලෝලීන් මෙන්ම සහායක කණ්ඩායම් වල හෝටල් ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් හේතුවෙන් මේ දිනවල අසරණව සිටින සංචාරක ක්ෂේත්‍රයට ලැබෙන්නේත් හොඳ තල්ලුවකි.

එවන් තත්ත්වයක් හමුවේ ඕස්ට්‍රේලියානු පිලේ ලංකා සංචාරය, ශ්‍රී ලංකාවාසීන්ට සතුට පමණක් නොව, එක්තරා ආකාරයක බලාපොරොත්තු සහගත සැනසීමක්ද ගෙන එයි.

“අපි මෙහෙ ඇවිත් ඉන්නේ ක්‍රිකට් ගහන්න. මා හිතන විදිහට, අපි සතුට වගේම කිසියම් විනෝදාස්වාදයක් ගේන්නත් උත්සාහ කරනවා... ශ්‍රී ලංකාව සංචාරය කිරීමට හරිම අපූරු රටක්. මෙහිදී ලැබෙන ආගන්තුක සත්කාර, මිත්‍රශීලිත්වය වගේම ක්‍රිකට් ක්‍රීඩාවට ඔවුන් දක්වන ලැදියාවත් අදහාගන්න බැරි තරම්” යයි ඕස්ටේ්‍රලියානු සීමිත ඕවර කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච් අද පෙරවරුවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී පැවසීය.

පසුගිය සතියේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් කියා සිටියේ ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන දුෂ්කරතා සම්බන්ධයෙන් තමන් මනා අවබෝධයකින් සිටින බවත්, ඒ පිළිබඳ අවධානය යොමුකර තිබෙන බවත්ය. කෙසේ වෙතත් තමන් ශ්‍රී ලංකා සංචාරය සඳහා සම්පූර්ණ සූදානමින් සිටින බවද ඔව්හු කීහ.

ඕස්ටේ්‍රලියානු සීමිත ඕවර කණ්ඩායමේ ක්‍රීඩකයෝ 20 දෙනෙක් අද දහවල් වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටියහ. මේ වන විට කොරෝනා වයිරසය අසාදනයට ලක්ව සිටින පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් මහතා සහ ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායමේ තවත් ක්‍රීඩකයන් 20 ක් පමණ ශ්‍රී ලංකාවට අද (3 වැනිදා) රාත්‍රියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් වරට, ඕස්ට්‍රේලියාවේදී, පැවැති විස්සයි-20 තරගාවලියේදී 4-1 ක ජයක් ඕස්ටේ්‍රලියාවට හිමිවිය. එබැවින් ඕස්ටේ්‍රලියානුවෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ තරම හොඳින්ම දනිති. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමේ අභියෝගයත් දනිති.

ඕස්ට්‍රේලියානුවන්ගේ අවසන් ශ්‍රී ලංකා සංචාරය පැවැතියේ 2016 දීය. එහිදී ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේ පල්ලෙකැළේදී පැවැති පළමු තරගයේ පළමු දිනයේදීම ලකුණු 117 කට දැවී යාමෙන් පසුවය. එහෙත් දෙවැනි ඉනිමේදී කුසල් මෙන්ඩිස් ලබාගත් අති විශිෂ්ට ලකුණු 176 නිසා හිස් එසවූ ශ්‍රී ලාංකිකයෝ අවසානයේදී 3-0 ක තරගාවලි ජයක් ලබාගත්හ. එතැනින් පසුව ඕස්ටේ්‍රලියාවේදී පැවැති ටෙස්ට් තරග දෙකේදීම ශ්‍රී ලංකාව පරාජය විය.

“මුල් පෙළ පිතිකරුවන් දිහා බැලුවාම කුසල්ව පේනවා. එයාගේ දවස ආවම, ඕනෑම ආකාරයේ ලෝක විනාශයක් කරන්න එයාට පුළුවන්. ඒ වගේම හසරංග. අවසන් අවුරුදු දෙකේදී එයාගේ දස්කම් අදහාගන්නත් බැරි තරම්”

“ඔවුන් එක්ක හොඳ තරගාවලි කිහිපයකටම අපි සහභාගි වෙලා තියෙනවා. ඒ ගොල්ලන් (ශ්‍රී ලංකාව) ඉතාමත් භයානක කණ්ඩායමක්” යයි ද ඒරන් ෆින්ච් පැවසීය.

අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව මේ වන විට ලෝකයේ අංක 5 හිමි ඕස්ටේ්‍රලියාව සහ අංක 9 හිමි ශ්‍රී ලංකාව අතර විස්සයි-20 තරගාවලිය ලබන අඟහරුවාදා (7 වැනිදා) ආරම්භ වේ.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක ගිලී ඇතැයි කීවද, එකක් රුපියල් 4000 ක් බැගින් වන, ප්‍රවේශපත් මිලදී ගැනීමටත් සූදානමින් පසුවන ක්‍රිකට් ලෝලීහු අදටත් ශ්‍රී ලංකාවේ සිටිති.

 
ඡායාරූපය - ඒ.එෆ්.පී


අදහස් (0)

සතුට රැගෙන ෆින්ච් ඇතුළු පිරිවර එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.