Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාව කබලෙන් ලිපට
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ශ්‍රී ලංකාව කබලෙන් ලිපට

editorial - 2023 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද දිල්ලි නුවර අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණයේ සිට..)

බංග්ලාදේශයට එරෙහිව දිල්ලි නුවර අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී ‍අද (6 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 3 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව, මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට වීසි විය. ලෝක කුසලාන තරගයකදී බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ පළමු පරාජය මෙය වූ අතර මෙම පරාජයත් සමගම තරගාවලියේ අවසන් පූර්ව වටය කෙරෙහි ශ්‍රී ලංකාව තබා තිබූ අවසන් බලාපොරොත්තුවත් බිඳවැටිණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 280 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය ඕවර 41.1 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ඉලක්කය සපුරාගත්තේය. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව පියවරක් පසුපසට ඇද දමමින් ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද බංග්ලාදේශයට හැකි විය. එහිදී ලැබූ පරාජය හේතුවෙන් ලබන වසරේ  (2024) පාකිස්තානයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමද ශ්‍රී ලංකාවට ඉතා අසීරු කාර්යයක් බවට පත් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 41 ක් වන විට බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යවමින් යළිත් වරක් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ඩිල්ෂාන් මධුෂංක (කඩුලු 21) සමත් වුවද, නායක සකීබ් අල් හසන් (82) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 149 කදී ලකුණු 169 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නජ්මුල් හොසෙන් (90) සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය.

ලකුණු 7 ක් ලබා සිටියදී ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දුවක් හමුවේ ලබාදුන් උඩ පන්දුවක් ෂෝට් කවර් කළාපයේ පන්දු රකිමින් සිටි චරිත් අසලංක අතින් ගිළිහී යෑමත් සමග තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව හිමි වූ සකීබ්, හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින් සිය 56 වැනි එක්දින අර්ධ ශතකය සැරසුවේය. ශතකය පෙනි පෙනී දැවී යන විට පන්දු 101 කට මුහුණදී සිටි නජ්මුල්ගේ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත් වී තිබිණි.

තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳ දමමින් සකීබ් අල් හසන් පිටියෙන් ඉවත් කළ මැතිව්ස්, ඉන් අනතුරුව යැවූ ඕවරයේදී නජ්මුල්ගේ කඩුල්ලද බිඳ දමමින් ශ්‍රී ලංකාව යළිත් තරගයට අවතීර්ණ කිරීම සඳහා උත්සහයක්  ගත්තේය. එහෙත් ඒ වන විට බංග්ලාදේශයට තරගය ජයගැනීම සඳහා අවශ්‍ය වී තිබුණේ තවත් ලකුණු 69 ක් පමණි. පස්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මහමදුල්ලා රියාද් පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 22 ක් රැස්කරමින් සිය කණ්ඩාය‍මේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය නායක සකීබ් අල් හසන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව, චරිත් අසලංකගේ (108) අගනා ශතකය හමුවේ ඕවර 49.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලකුණු 279 ක් ලබාගත්තේය. ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ අසලංක, පැය දෙකකුත් විනාඩි 40 ක පමණ කාලයක් කඩුල්ලේ රැදෙමින් පන්දු 105 කදී සිය දෙවැනි එක්දින ශතකය ලබාගත්තේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි.

ඇන්ජලෝ මැතිව්ස්ගේ දැවී යෑමත් සමග ශ්‍රී ලංකා කණ්ඩාමේ ලකුණු තත්වය ලකුණු 135 කට කඩුලු 5 ක් බවට පත්වූ අතර එතැන් පටන් ධනංජය ද සිල්වා (34) සමග එක්වූ අසංලක, හයවැනි කඩුල්ල සඳහා පන්දු 82 කදී ලකුණු 78 ක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිමට නව ජවයක් එක් කළේය. එහෙත් මෙහෙදි හසන්ගේ පන්දුවක් හමුවේ සීමා ඉරෙන් ඉදිරියට පැන පහරක් ගැසීමට තැත් කිරීමේදී මුෂ්ෆිකුර් රහීම්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ධනංජය දැවී ගියේ එම සම්බන්ධතාවට තිත තබමිනි.  

කෙසේ වුවත් ඉන් නොනැවතුණ අසලංක, අටවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මහීෂ් තීක්ෂණ සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 45 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 250 සීමාවෙන් ඔබ්බට රැගෙන යමිනි. එහිදී පන්දු 31 කට මුහුණදුන් තීක්ෂණ හතරේ පහර 3 ක් සමග ලකුණු 22 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා අසලංකට අනගි සහායක් දුන්නේය.

දිමුත් කරුණාරත්න වෙනුවට මෙම තරගයේදී ආරම්භක පිතිකරු ලෙස කණ්ඩායමට ඇතුළත්ව සිටි කුසල් පෙරේරා (4) යළිත් වරක් අසාර්ථක වෙමින් ‍පළමු ඕවරයේ ‍අවසන් පන්දුවේදී දැවී ගියේය. එහෙත් නායක කුසල් මෙන්ඩිස් (19) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැගූ පැතුම් නිස්සංක (41) ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

කෙසේ වුවත් ලකුණු 6 ක් ඇතුළත කුසල් සහ පැතුම් දැවී යෑමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72 කට‍ කඩුලු 3 ක් බිඳවැටී මහත් අසීරු තත්වයකට පත්විය. ශ්‍රී ලංකාව එම අසීරු තත්වයෙන් මුදවාගත් සදීර සමරවික්‍රම (41) සහ චරිත් අසලංක සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 69 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. එම සම්බන්ධතාව නිමාවට පත්වූයේ සකීබ් අල් හසන්ගේ පන්දුවක් හම‍ුවේ මහමදුල්ලා අත‍ට උඩ පන්දුවක් දෙමින් සදීර දැවී යෑම හේතුවෙනි.

 

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ප.ටැන්සිම්                         41
කුසල් පෙරේරා - ඇ.රහීම් ප.ඉස්ලාම්               4
කුසල් මෙන්ඩිස් - ඇ.ඉස්ලාම් ප.සකීබ්           19
සදීර සමරවික්‍රම - ඇ.මහමදුල්ලා ප.සකීබ්      41
චරිත් අසලංක - ඇ.දාස් ප.ටැන්සිම්              108
ඇන්ජලෝ මැතිව්ස් - වේලාව ඉක්මවීය           0
ධනංජය ද සිල්වා - ස්ට.රහීම් ප.මෙහෙදි         34
මහීෂ් තීක්ෂණ - ඇ.නසුම් ප.ඉස්ලාම්              22
දුෂ්මන්ත චමීර - දුවද්දී දැවී ගියා (රහීම්)           4
කසුන් රාජිත - ඇ.දාස් ප.ටැන්සිම්                    0
ඩිල්ෂාන් මධුෂංක - නොදැවී                            0
අතිරේක                                                        6
එකතුව ඕවර 49.3 කදී සියලු දෙනා දැවී       279

කඩුලු වැටීම :
1-05(පෙරේරා), 2-66(මෙන්ඩිස්), 3-72(නිසංස්ක), 4-135(සමරවික්‍රම), 5-135(මැතිව්ස්), 6-213(ධනංජය), 7-258(තීක්ෂණ), 8-278(අසලංක), 9-278(රාජිත), 10-279(චමීර)

පන්දු යැවීම :
ෂොරිෆුල් ඉස්ලාම් 9.3-0-52-2, ටස්කින් අහමඩ් 10-1-39-0, ටැන්සිම් හසන් 10-0-80-3, සකීබ් අල් හසන් 10-0-57-2, මෙහෙදි හසන් 10-0-49-1


බංග්ලාදේශය 
ටැන්සිඩ් හසන් - ඇ.නිස්සංක ප.මධුෂංක          9
ලිටන් දාස් - ක.මු. කළා. ප.මධුෂංක               23
නජ්මුල් හොසේන් - ප.මැතිව්ස්                      90
සකීබ් අල් හසන් - ඇ.අසලංක ප.මැතිව්ස්      82
මහමුදුල්ලා රියාද් - ප.තීක්ෂණ                      22
මුෂ්ෆිකුර් රහීම් - ප.ඩිල්ෂාන්                          10
තොව්හිද් රි‍ඩෝයි - නොදැවී                         15
මෙහෙදි හසන්  - ඇ.අසලංක ප.තීක්ෂණ         3
ටැන්සිම් හසන් - නොදැවී                                5
අතිරේක                                                      23
එකතුව ඕවර 41.1 කදී කඩුලු 7 ක් දැවී         282

පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
ටස්කින් අහමඩ් සහ ෂොරිෆුල් ඉස්ලාම්

කඩුලු වැටීම :
1-17(ටැන්සිඩ්), 2-41(දාස්), 3-210(සකීබ්), 4-211(නජ්මුල්), 5-249(රහීම්), 6-255(මහමදුල්ලා), 7-269(මෙහෙදි)

පන්දු යැවීම :
ඩිල්ෂාන් මධුෂංක 10-1-69-3, මහීෂ් තීක්ෂණ 9-0-44-2, කසුන් රාජිත 4-0-47-0, දුෂ්මන්ත චමීර 8-0-54-0, ඇන්ජලෝ මැතිව්ස් 7.1-1-35-2, ධනංජය ද සිල්වා 3-0-20-0

 


අදහස් (0)

ශ්‍රී ලංකාව කබලෙන් ලිපට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.